සංචරණ සීමා ඉවත් කිරීමත් අභියෝගයක් වෙයි

0
Travel restriction - සංචරණ සීමා ඉවත් කිරීමත් අභියෝගයක් වෙයි

රට තුළ පවතින කෙරෝනා වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත රජය මගින් ඉකුත් මැයි මස 25 වැනිදා සිට ඊයේ (06 වැනිදා) දක්වා අඛණ්ඩවව දින දහතුනක කාලයක් සංචරණ සීමා පනවනු ලැබුවද පසුගිය බ‍්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා වූ තෙදිනක කාලය තුළ දෛනිකව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන තුන්දහස ඉක්මවා ගොස් තිබිණි.
 
එසේම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ 121 ක්ද එම දින තුනක කාලයේ වාර්තා විය.
 
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇතැයි පෙරේදා (05 වැනිදා) රාති‍්‍රයේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර ඒ අනුව එම මරණ 40 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ ගණනද 1696 දක්වා ඉහළ ගියේය.
 
රජය මගින් පනවා තිබෙන සංචරණ සීමා ලබන 14 වැනිදා (සඳුදා) ඉවත් කිරීමට දැනට තීරණය වී ඇතැත් පවතින තත්ත්වය හමුවේ මේ වන විට එම තීරණයද අභියෝගයකට ලක්වී තිබේ.
 
දෛනිකව තුන්දහස ඉක්මවූ කොරෝනා ආසාදිතයන් ගණනක් අඛණ්ඩව වාර්තා වූ ප‍්‍රථම අවස්ථාවද මෙය වන අතර මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් රට භයානක තැනකට තල්ලූවනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීය.
 
සංචරණ සීමා පනවා තිබියදීත් මෙවන් තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ දැනට කි‍්‍රයාත්මක කර්මාන්ත ශාලා ආශි‍්‍රතව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබීම නිසා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණණවර්ධන මහතා සඳහන් කරයි.
 
මෙම තත්ත්වය තුළ ඇතැම් කර්මාන්ත ශාලාවලින් ඉහළ රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා වන්නේ නම් අදාළ ප‍්‍රදේශයන්හි සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර එම ආයතන තාවකාලිකව වසා දැමීමට සිදුවනු ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.
 
පවතින තත්ත්වය තුළ ඊයේ (06 වැනිදා) දක්වා ගෙවී ගිය සතියක කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 21,236 ක් වන අතර එයට සමගාමීව ආසාදිත මරණ 285 ක්ද වාර්තා වී ඇත.
 
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේදී කර්මාන්ත ශාලා ආශ‍්‍රිතව ගැටලූකාරී තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව මීට දින පහකට පමණ ඉහතදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයද සඳහන් කළේය.
 
විශේෂයෙන් ඇඟලූම් කර්මාන්ත ශාලා හේතුවෙන් කොරෝනා පාලනයට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දී තිබිණි.
 
ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් වේගවත් කිරීමට රජය කටයුතු කරමින් සිටින අතර ඒ අනුව මේ දක්වා චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගත් පුද්ගලයන්ට දෙවැනි මාත‍්‍රාව ලබාදීම හෙට (08 වැනිදා) සිට ආරම්භ කිරීමටද කටයුතු යොදා තිබේ.
 
සෞඛ්‍ය බලධාරීන් මීට පෙර සඳහන් කළ පරිදි අදාළ පුද්ගලයන් සයිනෝෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගත් ස්ථානවලදීම එහි දෙවැනි මාත‍්‍රාව ලබාදීම සිදුවේ.
 
මේ වන විට මෙරට පැතිර යමින් තිබෙන බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදයේ ව්‍යාප්තිය ඉතාම ප‍්‍රබල වී තිබෙන අතර ඇතැම් ප‍්‍රදේශවල සිදු කරන පී. සී. ආර්. පරීක්ෂණවලදී සියයට පනහක පමණ ප‍්‍රතිශතයක් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් තිබෙන බවද ප‍්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීහු සඳහන් කරති.
 
මේ අතර කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 1696 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගිය බව ඊයේ පස්වරු 6.00 පමණ වන විට සෞඛ්‍ය අංශ සඳහන් කළ අතර එම සංඛ්‍යාවත් සමඟ මේ දක්වා කොරෝනා ආසාදිතව මෙරට තුළ ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලද ගණන 167304 දක්වා ඉහළ ගියේය.
 

එසේම අඛණ්ඩව පැවති තත්ත්වයේ යම් පාලනයක් පෙන්නුම් කරමින් අලූත් අවුරුදු පොකුර හෙවත් මෙරට කොරෝනා තුන්වැනි රැල්ලෙන් තවත් ආසාදිතයන් 1921 හඳුනාගත් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ඊයේ පස්වරු 6.30 වන විට නිවේදනය කළේය.
 
එම සංඛ්‍යාවත් සමඟ මේ දක්වා හඳුනාගනු ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 224,978 දක්වා ඉහළ ගිය අතර ඉන් ආසාදිතයෝ 35,000ට ආසන්න පිරිසක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියහ.

(divaina.lk වෙබ් අඩවිය ඇසුරිනි)