ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ස්වයං නිරෝධායනයට

0

තම ආරක්ෂක අංශ සාමාජිකයෙකුට සහ රියදුරන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා.

ඔහු සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ තම ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීවරයෙකුට සහ රියදුරන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවයි.

සිය ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීවරයෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසු මහින්දානන්ද අලුත්ගමගේ සහ පවුලේ සාමාජිකයන් නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව තිබුණා.

අනතුරුව සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලිනුයි ඔහුගේ රියදුරන් දෙදෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත්තේ.

කෙසේවෙතත් තමා සහ අනෙක් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට එම පරීක්ෂණවලින් පෙන්නුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශකර තිබෙනවා.

එහෙත් දෙවන පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකරන තෙක් සියලුදෙනා නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වන අතර අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ද පසුගිය සිකුරාදා (30) සිට නිරෝධායනයට ලක්ව සිටින බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

අමාත්‍යවරයා දැනුම් දෙන්නේ තමාගේ ආරක්ෂක අංශ සාමාජිකයන් හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු පසුගිය 27 වනදා සිට හමුවූයේ නම් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසටයි.