ජූනි 8 හෝ 22 රනිල් පාර්ලිමේන්තුවට – දේශපාලන ගේම් පෙළක්ම සූදානම්

0
Ranil wickramasinge - ජූනි 8 හෝ 22 රනිල් පාර්ලිමේන්තුවට - දේශපාලන ගේම් පෙළක්ම සූදානම්
රනිල් පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීම ජුනි 08 වනදා හෝ 22 වනදා සිදු කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි. 

වික්‍රමසිංහ මහතා මීට ටික කලකට පෙරම මේ සම්බන්ධයෙන් ජ්‍යෝතිෂ්‍ය උපදෙස් ලබාගෙන තිබුණු අතර එහිදී ද ඒ මහතාට දැනගැනීමට ලැබී තිබුණේ ජුනි 08 හෝ එයින් පසු දිනයක් වඩා සුදුසු බවකි. 

ජුනි 22 දිනය යෝජනා වී ඇත්තේ විපක්ෂයේම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් වෙතින් බවට ද දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. අහඹුවක් වශයෙන් හෝ ගත් කළ 8 යනු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රියතම දිනයක් ද වෙයි. 

දේශපාලන ගේම් කිහිපයක්ම සූදානම්

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය යනු හුදෙක් තවත් එක් කුඩා පක්ෂයකට හිමි එකම මන්ත්‍රී ධුරයෙහි කවරෙකු හෝ දිවුරුම් දීමක් නම් නොවේ. එක්සත් ජාතික පක්ෂ නායකයෙකු වශයෙන් ඉතිහාසයෙහි දුර්වලම අඩියට වැටී සිටියද මේ තත්වයෙන් පවා රනිල් වික්‍රමසිංහ යනු පක්ෂ – විපක්ෂ ඕනෑම පාර්ශ්වයකට දැඩි අභියෝගයක් එල්ල කළහැකි ශක්‍යතාවයෙන් යුත් පුද්ගලයෙකි. එසේම රනිල්ගේ මේ ශක්‍යතාවය තම තමන්ට වාසිවන අයුරින් කළමනාකරණය කිරීමට ද පාර්ශ්ව කිහිපයක්ම දත් මැදගෙන බලා සිටින බව රහසක් නොවේ. 

ඒ අනුව මෙතෙක් දේශපාලන කරළියෙහි නුදුටු විරූ මට්ටමේ අමුතුම දේශපාලන ගේම් රැසක්ම ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇති බවයි දේශපාලන ක්ෂේත්‍රයෙහි කතාබහට ලක්ව ඇත්තේ. 

දැනටමත් විපක්ෂයෙහි සිටින 43 වැනි සේනාංකය රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වන අතර ඔවුන්ගේ නායකයකු රහසින්ම රනිල්ව හමුවීමට ගොස් ඇති බවත් ආරංචිමාර්ග පැවසීය. විපක්ෂය තුළ අළු යට ගිනිපුපුරු වශයෙන් පැවති සුළු මට්ටමේ ඉරිතැළීම් යම් ප්‍රමාණයකින් වර්ධනය වීමක් රනිල්ගේ පාර්ලිමේන්තු පැමිණීමත් සමග සිදුවන්නේය යන්න අනිවාර්යය තත්වයකි. එමෙන්ම රනිල්ගේ ආගමනය ඔස්සේ උද්ගතවන තත්වයන් භාවිතා කරමින් විපක්ෂය භේදකිරීමේ සූක්ෂම වැඩසටහනක් ආණ්ඩු පක්ෂය විසින් ද දැනටමත් පියවරෙන් පියවර සැලසුම් කර ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 (lankanewsweb.net වෙබ් අඩවිය ඇසුරිනි)