රට විවෘත කිරීම ගැන ඉඟියක්

0
Travel restriction -රට විවෘත කිරීම ගැන ඉඟියක්

පවතින සංචරණ සීමා මැද ජනතාව නිවසටම වී රැඳී සිටින්නේ නම් එළඹෙන 14 වනදායින් පසු යම් ආකාරයකට රට විවෘත කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ හේතුවෙන් නිරෝධායන රීති ආරක්ෂා කරමින් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (04) දිනය තුළ පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් 147ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙනි. 
නිකවැරටියෙන් 80ක්, මහනුවරින් 75ක් අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 14කදී සිදු කෙරුණු වාහන පරීක්ෂාවන්වලදී වාහන 139ක් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමට උත්සාහ කිරීමේදී ආපසු හරවා යවා තිබේ.

ඊයේ උදෑසන 6.30 සිට 9.30 දක්වා කොළඹ නගරයට ඇතුළු වූ වාහන සංඛ්‍යාව 59,280කි.

ඊයේ දිනයේත් වැඩිපුරම කොළඹ නගරයට ඇතුළු වී ඇත්තේ බැංකු සහ මූල්‍ය ආයතනවලට අදාළ වාහන බවද අජිත් රෝහණ මහතා පැවසීය.

එම වාහන සංඛ්‍යාව 16,282කි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ නිරෝධායන රීති ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 22,950ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.