සතොස විවෘත අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන පිරිසට පමණයි

0
Sathosa - සතොස විවෘත අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන පිරිසට පමණයි

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන පිරිසට දිවයින පුරා විවෘතව පවතින සතොස අලෙවි සැල් ජාලය මගින් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචරණ සීමා මැද ගමන් කිරීමට අවරස නොමැති අයට ඒ සඳහා අවස්ථාව නොලැබෙන බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළා. ඒ අත්‍යවශ්‍ය සේවා බෙදා හැරීමේ කටයුතුවලට සහායවීමටයි. ඒ අනුව වෛද්‍යවරුන්, රාජ්‍ය සේවකයන්, නිරෝධායන රීති යටතේ පැමිණීම සඳහා බලය ලත් අයට තමන්ගේ රාජකාරියට වාර්තා කරලා යන අවස්ථාවේදී අවශ්‍ය භාණ්ඩත් සිල්ලරට ලබාගෙන යන්න අවස්ථාව තියෙනවා සතොස හරහා. ඕනම කෙනෙකුට ඇවිත් භාණ්ඩ ගන්න බෑ. ඒ අතරතුර සතොස ඇතුලේ සහන මලු සකස් කරන ක්‍රියාවලියත් සිදු වෙනවා.”

මේ අතර නිවාස අසලට පැමිණ ජංගම රථවලින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ බවට පැමිණිළි ලැබී ඇති බවද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දුන් බව අමාත්‍යවරයා පැවසීය.  

“එම වෙළෙඳුන් පාරිභෝගිකයින් සූරා කෑමකට ලක් කරනවා නම් ඒ අයගේ බලපත්‍රය අහෝසි කරනවා. රට වහලා තියෙන නිසා ජනතාවට පීඩා ඇතිවෙලා තියෙනවා. ඒක තමයි රජය කියපු සැනින් වැහුවේ නැත්තේ. ඇතැම් බැංකු සේවාත් ඉදිරියේදී ජංගම රථ මගින් ක්‍රියාත්මක කරයි.” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.