ගිනිගත් X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ගෙන යන්නැයි ජනපතිගෙන් උපදෙස්

0
xpress pearl - ගිනිගත් X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ගෙන යන්නැයි ජනපතිගෙන් උපදෙස්

තාක්ෂණික කාරණා පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ ද උපදෙස් මත කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී ජනාධිපතිවරයා විසින් එම උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මැයි මස 09 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 19 වනදා කොළඹ වරාය ආසන්නයට එම නෞකාව පැමිණීම දක්වා සියලු තොරතුරු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් එම හමුවේදී අනාවරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එහිදී ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන් බව වාර්තා වේ. 

එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන්ගේ යෝජනාව වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ගනු ලබන තීරණය තාක්ෂණික කරුණු මත පමණක් පදනම් වියයුතු බව සහ දේශපාලන කාරණා ඒ සඳහා අදාළ කර නොගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.