කොවිඩ් වසංගතය හෙතුවෙන් ඩෙංගු වෛරසය වඩාත් භයානක වන්නේ ඇයි?

0
Covid and Dengue - කොවිඩ් වසංගතය හෙතුවෙන් ඩෙංගු වෛරසය වඩාත් භයානක වන්නේ ඇයි?

කෝවිඩ් වසංගතය පවතින මේ කාලයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් ඇති බවට වාර්තා වෙනවා. මෙය අප මීට පෙර මුහුණ නොදුන් ආකාරයේ ඉතා බරපතළ තත්ත්වයක් වීමට හේතු කිහිපයක්ම තියෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ලංකාව ඩෙංගු අධි වසංගත තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා. ඒ අවස්ථා වලදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව ඩෙංගු මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වුණේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සහ මේ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ සෞඛ්‍ය සේවකයන් යෙදවීමෙන්. ඒ වගේම අවශ්‍ය දැඩි සත්කාර පහසුකම් ඉතා බහුල වශයෙන් ඩෙංගු වෛරසය සඳහාම වෙන්කිරීම තුලින්.රක්තපාත තත්ත්වයේ සිටින ඩෙංගු රෝගියෙකුගේ ජීවිතයත් මරණයත් අතර තීරණය ගැනෙන්නේ ඔහුගේ ශරීරයේ තරල කාන්දුවීමේ වේගයට ගැලපෙන වේගයකින් ශරීරයට අවශ්‍ය තරල ලබාදීම මතයි. දිනකට බොහෝ වතාවක් පරීක්ෂණවලට භාජනය කරමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ දැඩි නිරීක්ෂණය යටතේ මෙය කළ යුතු වෙනවා.

මෙවර ඩෙංගු වසංගතයක් ඇති වුවහොත් ප්‍රධානම ගැටලුව මතුවන්නේ මෙතැනදියි.වෙනදාට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි නියැලෙන රෝහල් වල විශේෂ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයෙන් බොහෝ දෙනෙක් වගේම, වෙනදාට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන වසංගත රෝග විද්‍යායතනය (IDH රෝහල), ශික්ෂණ රෝහල් ඇතුළු තෘතීක හා ද්විතීක මට්ටමේ රෝහල් බොහොමයක් මේ වන විට කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කර්තව්‍යයෙහි දැඩි පරිශ්‍රමයකින් නියැලී සිටිනවා.

මේ අතරතුර ඩෙංගු අධි වසංගත තත්ත්වයකුත් ඇති වූවොත්, රෝගී සත්කාර සේවාවන් ඉතා ගැටළු සහගත තත්වයකට මැදිවීමක් සිදු වන්න පුළුවන්.මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුවහොත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩ තියෙනවා.ඩෙංගු රෝගය නිසා කුඩා දරුවන්ගේ ජීවිත වඩාත් බරපතල ලෙස තර්ජනයට ලක්වෙනවා.

පහසුවෙන් අප අපටම වළකාගත හැකි ඩෙංගු වසංගත තත්ත්වයක් නිසා, අපගේ ආදරණීය දරුවන් හට ජීවිතය වෙනුවෙන් සටන් කිරීමට සිදුවන තැනකට එළඹීමට ඉඩ තිබෙනවා. එවන් දිනක සිතේ ඇතිවන පසුතැවිල්ලට වඩා අද දිනයේ ක්‍රියාත්මක වීමේ ඇති වටිනාකම අප අමුතුවෙන් විස්තර කර දිය යුතු නැහැ.

වෙනදා ගෙයින් ගෙට ඇවිත් ඩෙංගු බෝවෙන ස්ථාන හඳුනා ගන්නා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල වල කණ්ඩායම්, අද එන්නත්කරණ කටයුතු වල වගේම කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ කටයුතුවල දැඩි පරිශ්‍රමයකින් නියැලී සිටිනවා.

මේ නිසා අපේ නිවෙස් ආශ්‍රිත පරිසරය, අපේ දරුවන්ගේ ජීවිතයට අනතුරක් නොවන ලෙස සැකසීමේ වගකීම වෙනදාටත් වඩා අප වෙත යොමු වෙනවා

.වසංගත දෙකක් එක මත අතිපිහිත වීමේ භයානක අවස්ථාවකට එලඹීමට ඉඩ ඇති මේ මොහොතේ, රටේත් අපේ දරුවන්ගේත් අවසන් ආරක්ෂක පවුර වීමට අපට අවස්ථාව එළඹී තිබෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියට ඒම හා ක්‍රියාත්මක වීම මත අපේ දරුවන්ගේ ජීවිත රඳා පවතිනවා.

මේ ඩෙංගු හිස එසවීමේ අවදානම අධි වසංගත තත්ත්වයක් වීමට ඉඩ නොදී නැවතීමට කළ යුතු දේ ඉතා සරලයි. අනෙක දැන් පවතින කෝවිඩ් පාලනය සඳහා වන සංචරණ සීමා මෙයට වෙස්වලාගත් ආශිර්වාදයක්.දරුවන් සමඟ නිවසෙහි ගතකරන මේ වේලාව, නිවස තුළ මෙන්ම මිදුලෙහි මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා විනාශ කිරීමට යොදවන්න අපිට පුළුවන්. ජලය එකතු විය හැකි කොන්ක්‍රීට් පෘෂ්ඨයන් වගේම වැහිපිහිලි හා මල් බදුන් පරික්ෂා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතයි.

අපිට පහසුවෙන් මග හැරිය හැකි මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ විස්තරයක් ඉදිරියේදී ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.නිවසේ සිටින දරුවන් උදයේ හෝ හවස මිදුලේ දුව පනිමින් ක්‍රීඩා කරනවා නම් අනුමත මදුරු විකර්ශක භාවිතා කිරීම වගේම ශරීරය ආවරණය වෙන පරිදි ඇඳුම් ඇන්දවීමත් ඉතාමත් සුදුසුයි.

උණ රෝගයක් වැලඳී දින දෙකකට වඩා පවතිනවා නම් එය ඩෙංගු වීමේ අවදානමක් තිබෙනවා. කෝවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙනවා වගේම මෙවැනි අවස්ථාවල නොපැකිළිව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ජීවිතය ආරක්ෂා කර ගැනීමට හේතුවක් වනවා.

මේ ගෙවී යන්නේ ඉතාමත්ම තීරණාත්මක අවධියක්. අපගේ වගේම දරුවන්ගේත් ජීවිත වල වගකීමත අප කරමතින් දරාගත යුතු අවස්ථාවක්. සංචරණ සීමා යෙදී ඇති මේ දිනවල අපේ නිවෙස් තුළ හා අවට පරිසරය පිරිසිදු කර ගැනීමට දැන්ම යොමු වෙමු. අද කළ යුතු දේ ‘අදම කිරීම’ හෙට දිනෙක පසුතැවිලි නොවීමට හේතු වනවා ඇති.