කොවිඩ් පරීක්ෂණ හතකට එක් ආසාදිතයෙක්

0
PCR Test - කොවිඩ් පරීක්ෂණ හතකට එක් ආසාදිතයෙක්

ඊයේත් නව ආසාදිතයන් 2,912 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 86,364 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ දිනයේ නව මරණ 43 ක් වාර්තාවීමත් සමඟ මෙරට මරණ සංඛ්‍යාව දැක්වුණේ 1,484 ක් ලෙසයි.

ඊයේ වාර්තාවූ නව ආසාදිතයන් 2,912 දෙනාගෙන් 2,882 කු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 30 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 33,140 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ 51,740 ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව කොරෝනා මරණ 04 ක් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි.

ඊට අමතරව මැයි මස විස්ස සිට පෙරේදා දක්වා කාලය තුළ මරණ 39ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර මෙරට කොරෝනා පරීක්ෂණ හතකටම එක් ආසාදිතයෙකු හමුවන බවයි සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සිදුකළ නවතම විමර්ශනයකදී අනාවරණවී ඇත්තේ.  

කොරෝනා සුව වූ පුද්ගලයෙකු යළි රැකියා ස්ථානයට යාමේදී කොරෝනා පරීක්ෂණයක් සිදුකරන ලෙස සේවායෝජකයින් ඉල්ලීම, පදනම් විරහිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ සුවවූ රෝගියෙකු රෝහලකින් නිදහස් කරන්නේ තවදුරටත් රෝගය බෝ කිරීමට හැකියාවක් නොමැති බැවින් බවයි.