සජිත්ට හා ජලනිට කොවිඩ් 19 හැදුණේ කොහොමද?

0
sajith and Jalani - සජිත්ට හා ජලනිට කොවිඩ් 19 හැදුණේ කොහොමද?

කොරෝනා දෙවැනි රැල්ලත් තුන්වැනි රැල්ලත් එන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කළේය. එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එන්නත ලාබාගැනීම ප්‍රතිකෂේප කළේය. ඔහු කීවේ රටේ ජනතාව එන්නත ලබාගෙන අවසන් වන තුරු තමන් එන්නත ලබා නොගන්නා බවය.විපක්ෂ නායකවරයා එසේ දැඩි ස්ථාවරයක සිටීම නිසා ඔහුගේ බිරිදද කොවිඩ් එන්නත ලබාගත්තේ නැත. කොරෝනා වැළඳීමෙන් වැළකී සිටීමට තිබූ එකම අවස්ථාව වූයේ හැකිතාක් ප්‍රවේශම් වීමය. මේ නිසා කොරෝනා දෙවැනි රැල්ල අවස්ථාවේදී විපක්ෂ නායක කාර්යාලයට කිසිදු පිටස්තර අයෙක් ඇතුළු කරගත්තේ නැත. අද වන තුරුම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්නේ මාධ්‍යවේදීන් සීමිත පිරිසක් සම්බන්ධ කරගෙනය. ඒ පිටස්තර පිරිස් කාර්යාලයට පැමිණීම සීමා කරගැනීමට අවශ්‍ය නිසාය.

සජිත්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන ඔහුටත් වඩා වදවී තිබුණේ ඔහුගේ බිරිඳය. සෑම විටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කරන්නේද යන්න ගැන ඇය සොයා බැලුවාය. එහෙත් පසුගිය සතිය වන විට කොරෝනා වයිරසය ඔවුන් අතරට ද පැමිණ තිබුණේය.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා වන විට ජලනි ප්‍රේමදාසට තරමක අසනීප තත්ත්වයක් ඇතිව තිබුණි. වහාම පෞද්ගලික රෝහලක් වෙත ගිය ඇය පී.සී.ආර්.පරීක්ෂණයකටද ලක්වූවාය. එහි ප්‍රතිඵල එන තෙක් තනිවම සිටීමටද ඇය තීරණය කළාය. සජිත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ගොස් තිබුණත් ජලනිගේ අසනීප තත්ත්වය ආරංචි වූ වහාම නිවසට පැමිණ තිබුණේ ඇගේ රෝගී තත්ත්වයන් සුව වන තෙක් අනෙක් පිරිස්වලින් ඈත්වී සිටින බවද දැනුම් දෙමිනි.

සිකුරාදා වන විට ජලනිගේ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබී තිබිණි.එයින් කියවුණේ ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවය.ඒ වන විට සජිත්ට වයිරසය ආසාදනය වී නොතිබුණ අතර ඔහුගේ කාර්යමණ්ඩලය ඉල්ලා සිටියේ ජලනි රෝහල් ගත කර ඔහුට ස්වංය නිරෝධායනයට ලක්වන ලෙසය. එහෙත් එයට සජිත්ගේ කිසිදු කැමැත්තක් තිබුණේ නැත.ඔහු දැඩි තීරණයක් ගත්තේය. ඒ ජලනි සමග සිටිමින් ජලනිගේ රෝගී තත්ත්වය සුව අතට පත් වන තෙක් ඇයට උවටැන් කිරීමටය. හිතුවක්කාරී තීරණයක් ගනිමින් ඔහු ජලනිගේ රෝහල් කාමරයේ නතරවූවේය.

“මගේ හැම වැඩක් පිටිපස්සේම ජලනි හිටියා.මගේ පුද්ගලික ජීවිතයේ වගේම දේශපාලන ජීවිතයේදී තීරණවලට ජලනි සහාය දුන්නා. ඒනිසා මම මේ වෙලාවේ ජලනි අතහැරලා යන්නේ නෑ”සජිත් තම හිතවතුන්ට කීවේය.

ජලනිට උවටැන් කරමින් සිටි සජිත් පසුදා යොදා ගෙන තිබූ දේශපාලන වැඩ කටයුතු ටික දිනකට කල් දැමුවේය. සිකුරාදා උදෑසන රෝහල්වලට සෞඛ්‍ය උපකරණ ලබාදීමට සූදානම් කර තිබුණත් එයට තමන් සහභාගී නොවන බව ඔහු කාර්යමණ්ඩලයට දැනුම් දුන්නේය.

මේ අතර සජිත් තමන්ගේ පී.සී.ආර්.පරීක්ෂණයද කළේය. ඒ සිකුරාදා දිනයේදීය.එදින සවස ඔහුගේ ප්‍රතිඵලය ආවේ ඔහුද ආසාදිතයෙක් බවට ප්‍රකාශ කරමින්ය. තමන්ට කොරෝනා ආසාදනය වූ බව දැනගත් වහාම ඔහු කළේ තමන් අවට සිටි අයට කෙටි පණිවුඩයක් යැවීමය. තමන් ආසාදිතයෙක් බවට පත්වීම නිසා වහාම ස්වංය නිරෝධායනයට ලක්වන ලෙසත් පී සී ආර් පරීක්ෂණ කරගන්නා ලෙසත් ඔහු දැනුම්දී තිබුණේය.

විපක්ෂ නායකවරයාත් ඔහුගේ බිරිඳත් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ කොළඹ පුද්ගලික රෝහලකය. ඒ එකම රෝහල් කාමරයකය.

සජිත් පසුගිය සතියේදී පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී විය. කොළඹ වරාය නගර පනත් කෙටුම්ප විවාදයට ගත් නිසා පාර්ලිමේන්තුවේ වැඩසටහන්වලට සහභාගී නොවී සිටීමට ඔහුට නොහැකි විය. එහෙත් පසුගිය සතියේ පාර්ලිමේන්තුව කැඳවනවාට ඔහුගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.ඒ නිසා ඔහු අගමැති මහින්ද රාජපක්ෂට දුරකතනයෙන් කතා කරමින් පාර්ලිමේන්තු සැසිවාරය නොපැවැත්වීමට යෝජනා කළේය.

“දැන් පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය සතියක් වහලා තිබුණා. මහ ලේකම්තුමාගේ කාර්යාලය වහලා ඒකේ සේවය කළ අය නිරෝධායනය කළා. මේවායේ වැඩ කරන අයට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂකයන්ට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා.මේ නිසා මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම නොපවත්වා ඉමු”සජිත් යෝජනා කළේය. පවතින තත්ත්වය එතරම් හොඳ නැති බව අගමැතිවරයාත් පිළිගෙන තිබූ අතර පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන තීරණයක් ගන්නා ලෙස අගමැතිවරයා යෝජනා කර තිබුණේය.

වෙනදාට පක්ෂ නායක රැස්වීමට සජිත් සහභාගී නොවන නමුත් මේ සතියේ පක්ෂ නායක රැස්වීමට ඔහු සහභාගී විය. ඒ පාර්ලිමේන්තුව රැස් නොකළ යුතු බවට යෝජනා කිරීමටය. පාර්ලිමේන්තු සේවකයන්ට කොරෝනා ආසාදනය වී ඇති බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා පාර්ලිමේනතුව රැස් නොකරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අතරම අගමැතිවරයා සමග තමන් කළ සාකච්ඡාව ගැනත් කරුණු පැවසුවේය.

එහෙත් සභානායක දිනේෂ් ගුණවර්ධනත්, කතානායක මහින්ද යාපා අබේවර්ධනත් පාර්ලිමේන්තුව කැඳවිය යුතුය යන දැඩි ස්ථාවරයක සිටියේය. කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු නිසා අනිවාරයෙන්ම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට වන ස්ථාවරයක ඔවුහු සිටියහ. සජිත්ගේ විරෝධය මැද පාර්ලිමේන්තුව කැඳවීමේ තීරණය ගත්තේය.

එසේ පාර්ලිමේන්තුව කැඳවා දිනක් යන විට මන්ත්‍රීවරුන්ටත් කොරෝනා ආසාදනය වී රෝහල් ගත කරන්න විය.දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක්ට සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන්ට කොරෝනා ආසාදනය වීම නිසා රෝහල් ගත කළේය. විපක්ෂ නායකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වූයේ ඉන් පසුවය.

සජිත්ට කොරෝනා ආසාදනය වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය වසා දැමුවේය. ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි කාර්යාලයේ සේවකයන් සියලු දෙනාටමද පී සී ආර් පරීක්ෂණ පවැත්විය.

ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි කාර්යාලයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන්ගෙන් දෙදෙනෙක් පිරිසිදු කිරීමේ සමාගමකට අයත් සේවකයන් දෙදෙනෙකි.කවදාවත් ඔවුන් දෙදෙනාට සජිත් මුහුණට මුහුණ හමුවී තිබුණේ නැත. ඒ අතර රියැදුරෙක් විය.ඔහු විපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන රියැදුරෙක් මිස විපක්ෂ නායකයාගේ වාහන පදවන රියැදුරෙක් නොවේ. එයින් වාර්තා වූ අනෙකා නිදහස් මාධ්‍යවේදියෙකි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ හමුවූ ආසාදිතයන් අතර රියැදුරෙක් වෙයි.එම රියැදුරා පසුගිය 6 වැනිදා කොරෝනා ආසාදිත තවත් පාර්ලිමේන්තු රියැදුරෙක් සමග විදුලි සෝපානයේ ගමන් කිරීම නිසා නිරෝධායනයට ලක් කළ අයෙකි. ඒ අතරම විපක්ෂ නායක කාර්යාලයේ සිටින තවත් ලිපිකරුවන් දෙදෙනෙක්ටද කොරෝනා ආසාදනය වී තිබුණේය.ඔවුන් දෙදෙනාද සජිත් මුහුණට මුහුණ හමුවූවන් නොවේ.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා ආසාදිතයෙක් බවට පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ සී සී ටී වී කැමරා පරීක්ෂා කරමින් ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ මන්ත්‍රීවරුන් නිරෝධායනයට ලක් කිරීමටද කටයුතු කර තිබුණි.

විපක්ෂ නායකවරයාට කොරෝනා ආසාදනය වූයේ කෙසේද යන්න ගැන විවිධ මත පසුගිය සතිය වන විට පැතිර ගියේය. එක් පාර්ශ්වකයන් පැවසුණේ පාර්ලිමේන්තුවේ සිටින ආසාදිතයෙක්ගෙන් ඔහුට ආසාදනය වන්නට ඇති බවය.

“පාර්ලිමේන්තවේ පසුගිය දිනවල දිගටම කොරා්නා රෝගීන් වාර්තා වුණා. ඒක සැලකිල්ලට ගන්නේ නැතිව තමයි පාර්ලිමේන්තුව කැඳවූයේ.පාර්ලිමේන්තුවෙන් තමයි ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ”ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේය.

එහෙත් වේත්‍රධාරී කාර්යාලය සඳහන් කළේ ඒ ගැන නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවය.

කෙසේ වෙතත් මේ වන විට සජිත් සහ ජලනි සුව අතට හැරෙමින් සිටින්නේය.ඒ අතරම සජිත් සමග සිටි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාටත් ඔහුගේ බිරිඳටත් කොරෝනා ආසාදනය වී තිබෙන්නේය. තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සිටින්නේ නිරෝධායනයට ලක් වෙමින්ය.