කොරෝනා ආසාදිතව හිමිනමක් විහාරස්ථානයේදීම අපවත් වෙයි

0
covid 19 death in anuradhapura - කොරෝනා ආසාදිතව හිමිනමක් විහාරස්ථානයේදීම අපවත් වෙයි

අනුරාධපුර, පණ්ඩුලගම, පොතානේගම විහාරස්ථානයක වැඩ විසූ අවුරුදු හැට අටක් (68) පමණ වන හිමිනමක් කොවිඞ්-19 ආසාදිතව එම විහාරස්ථානයේදීම අපවත්ව ඇතැයි අනුරාධපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසීය.
 
ඒ අනුව මේ වන විට කොවිඩි තුන්වන රැල්ල ආරම්භ වීමෙන් පසු කොරෝනා ආසාදිතව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විසි දෙදෙනකු (22) ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අතර පෙරේදා (27) ගලෙන්බිදුනුවැව ප‍්‍රදේශයේ පදිංචිව සිටි අසුතුන් (83) හැවිරිදි පුද්ගලයකු ද කොරෝනා රෝගය ආසාදනයවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර, පණ්ඩුලගම, පොතානේගම විහාරස්ථානයක වැඩවිසූ හිමිනමට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකර ඇති අතර කොවිඞ් 19 රෝගය ආසාධිත බවට සිදු කළ පරීක්ෂණවලදී හඳුනා ගෙන ඇත.

පසුව උන්වහන්සේගේ කැමැත්ත පරිදි එම විහාරස්ථානයේ වැඩවසමින් අවශ්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන තිබේ.

අනතුරුව පෙරේදා (27 දා) අළුයම හදිසියේ අසනිපවීමත් සමග 1990 ගිලන් රථයෙන් රෝහලට රැගෙන එනවිටත් උන්වහන්සේ අපවත්ව සිට ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.
 
දෛනිකව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වාර්තාවෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර දිනකට පීසීආර් පන්සියයක පමණ ප‍්‍රමාණයක් සිදු කරන බවත් එහි ප‍්‍රතිඵල වාර්තා දින තුනකදී පමණ ලබා ගැනීමට මේ වනවිට හැකියාව පවතින බවද හෙතම පැවසීය.

කොරෝනා ආසාධිත කාන්තාවන් ප‍්‍රතිකාර සඳහා යැවීමට ස්ථාන අඩුවීමත් සමග නිවෙස්වල කාන්තාවන් අසු දෙනෙකු (80) පමණ මේ වනවිට රඳවා සිටි. එසේම පසුගිය සතියේ පමණක් කොරෝනා රෝගින් පන්සිය දෙනෙකු (500) පමණ වාර්තාවී තිබේ.