කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

0

කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට 500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ අද (30) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 533 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

ඒ අතර කොළඹ නගරයෙන් 61ක්, වැල්ලම්පිටියෙන් 27ක්, මුල්ලේරියාවෙන් 31ක්, මොරටුවෙන් 19ක්, බොරැල්ලෙන් 19ක් හා මහරගමින් ආසාදිතයින් 16 ලෙසත් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අතරින් පිළියන්දල කොට්ඨාශයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 129 දෙනෙකු වේ.

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ද නව ආසාදිතයින් 145 දෙනෙකු බැගින් වාර්තා වීම හේතුවෙන් බස්නාහිර පළාතෙන් ඊයේ (29) දිනයේ හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 823 දෙනෙකු වේ.

මෙරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ දිනයේ නව ආසාදිතයින් 1,531 දෙනෙකු හඳුනාගැනුණි.

ආසාදිතයින් 1,491 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් වාර්තා වී ඇති අතර විදෙස්ගතව සිට පැමිණි 40 දෙනෙකු ද ඊයේ හඳුනාගත නව ආසාදිතයින් අතර වේ.

කුරුණෑගල, මහනුවර, ගාල්ල, මාතර, නුවර එළිය, හම්බන්තොට, පොළොන්නරුව, යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.