විභාගයට ගිය දැරියට උදව් කළ පොලිස් නිලධාරියාට ඇගයීමක්

0

පොලිස් නිලධාරියා

ගෝනපොළ ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් සඳහා පැමිණි දැරියකට යළි විභාග ප්‍රවේශපත්‍රය රැගෙන ඒමට සහාය වූ පොලිස් නිලධාරියා පොලීසිය විසින් ඇගයීමට ලක්කර තිබේ.

ඒ පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදීය.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන් කුලරත්න සහ ඊට අවසර දුන් මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න යන නිලධාරීන් අද පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ හමුවට කැඳවා තිබුණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ දිනය වෙන්ව තිබුණේ, තීරණාත්මක ගණිතය විෂය වෙනුවෙන්ය.

සුපුරුදු පරිදි, මොරගහහේන ගෝනපොළ පලන්නෝරුව මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානය ඉදිරිපිට, මොරගහහේන පොලීසියට අනුයුක්ත රථවාහන අංශයේ පොලිස් සැරයන් ඒ. කුලරත්න ඊයේ දිනයේත් සේවයේ නිරතව සිටියේය.

හදිසියේම නිලධාරියා අසළට පැමිණි පාසැල් දැරියක්, හඬා වැටෙමින් පවසා තිබුණේ තමා සාමාන්‍ය පෙළ ගණිත විෂය සඳහා දෙවැනි වර අයැදුම්කාරියක් වන අතර, තම විභාග ප්‍රවේශපත්‍රය රැගෙන ඒමට අමතක වූ බවය.

සිසුවියගේ එම දුක්බර වදන් පෙළ හමුවේ නිරායාසයෙන්ම සිය අත් ඔරලෝසුව දෙස බැලූ නිලධාරියා, ඒවන විට වේලාව පෙරවරු 8 පසු වී මිනිත්තු 22ක් බවත්, විභාග ආරම්භයට තවත් මිනිත්තු 8ක් පමණක් ඉතිරිව ඇති බවත් ඔහුට නිරීක්ෂණය විය.

නිලධාරියා එසැණින් ක්‍රියාත්මක වී, ඒ වනවිට පාසල් පරීක්ෂණ කටයුතු සඳහා එහි පැමිණ සිටි මොරගහහෙන පොලිසියේ ස්ථානාධිපතිවරයාට සිදුවීම සැළ කළේය.

පසුව, ඔහුගේ අවසරය සහිතව වහා ක්‍රියාත්මක වූ කුලරත්න , දැරිය සිය රාජකාරි යතුරුපැදියේ නංවාගෙන කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටි දැරියගේ නිවස වෙත කැටුව ගියේ ඇයට පිහිටක්වීමේ උදාර අරමුණින්ය.

එහෙත්, එහිදී දැනගන්නට ලැබෙන්නේ දැරියගේ විභාග ප්‍රවේශපත්‍රය නිවසේද නොමැති බවය.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා, දැරිය නැවතත් විභාග මධ්‍යස්ථානය වෙත කැටුව යන්නේ ශාලාධිපතිවරයාට මේ පිළිබඳ දැනුම් දෙන ලෙස දැරියට උපදෙස් දෙමින්ය.

කෙසේ හෝ, විභාගය ආරම්භයට පෙර දැරිය යළි විභාග ශාලාවට කැටුව යෑමට ඔහු සමත් වුණි.

ඒ අනුව, දැරියට විභාගයට මුහුණ දීමට අවස්ථාව සැලසෙන්නේ දැරිය අධ්‍යාපනය ලැබූ විදුහලේ විදුහල්පතිවරයාගේද මැදිහත්වීමෙනි.

රාජකාරියට එහා ගිය මිනිසත්කම පෙරදැරිකරගත් මෙවැනි නිලධාරීන් සමාජයට මහත් ආදර්ශයකි.