දිසාපතිගේ මරණයේ රහස ලිපියකින් එළියට

0

දිසාපතිගේ මරණයේ රහස ලිපියකින් එළියට

අනේ… අම්මේ මට සමාවෙන්න. ජානක අයියට ඔක්කොම කිව්වා. මේ දුක් මට දරාගන්න බැහැ. මම ඉපදිලා තියෙන්නේ දුක් විඳින්න විතරයි. මට තවත් දරාගෙන ඉන්න බැහැ. ජානක අයියා කොහොමහරි ඔයාලව බලාගනීවි. නංගිට කියන්න මට අනේක වාරයක් සමාවෙන්න කියලා…

මෙසේ අම්මට ලියුමක් ලියා තබා මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතා මීගමුවේ පිහිටි ඔහුගේ නිල නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා විය. ඒ පසුගිය 31 වැනිදා උදෑසන බවට මීගමුව මූලස්ථාන පොලීසිය පවසයි.
මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතාට මැයි 31 වැනිදා විශේෂ දිනයකි. බදාදා දිනයක් වූ එදින සිය කාර්යාලයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවකි. ඒ සඳහා සහභාගී වන පළාතේ තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසකි. ඔහු යටතේ සේවය කරන ඇතැම් නිලධාරීන්ට පෞද්ගලිකවම ඒ බව කියා එදින උදෑසන දුරකතන ඇමතුම් ලබාදී වෙලාව කියා තිබුණේ අයේෂ් පෙරේරා මහතා විසිනි. මේ අතරතුර අයේෂ් පෙරේරා මහතාගේ රියැදුරා නිල රථය පදවාගෙන සුපුරුදු ලෙස නිල නිවෙස වෙත පැමිණ තිබුණේ ප්‍රාදේශීය ලේකම්වරයා කැටුව යාමටය. රියැදුරා නිවසට පැමිණියත් නිවසේ කිසිවකු පෙනෙන්නට සිට නැත. නිවසේ දොරගුළු දමා නොතිබුණද පැවතියේ පාලු ස්වභාවයකි. ටික වෙලාවක් ගෙමිදුලේ රුඳී සිටි රියැදුරුට අයේෂ් පෙරේරා මහතා දකින්නට නොවූයෙන් කිහිප විටක් හඬනගා කතාකොට තිබුණි. එහෙත් ප්‍රාදේශීය ලේකම්වරයාගේ හාංකවිසියක් හෝ නොවූයෙන් ඒ පිළිබඳ විපරම් කරන්නට රියැදුරු මහතා ක්‍රියාකර ඇත.

එසේ බැලීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිරුර ඔහුගේ නිදන කාමරයේ බාල්කයක එල්ලෙමින් තිබෙනු දැක ඇත. විමතියට පත් රියැදුරා මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට දන්වා තිබෙන අතර වහාම සිද්ධිය පොලිසියට දැනුම් දෙන්නට ක්‍රියාකර ඇත. ඒ මොහොතේ සිටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අයේෂ් පෙරේරා මහතාගේ හිතවතුන් හා ඥාතීන් රැසක් එම ස්ථානයට පැමිණෙන්නට විය. මරණය සම්බන්ධයෙන් පිරිස අතර වූ කසුකුසුව මැද කාටත් වූයේ සැකයකි. ප්‍රාදේශීය ලේකම්වරයාගේ දේපළ සොරාගැනීමට පැමිණි අයකු මොහුව ඝාතනය කොට එල්ලුවේද? වෙනත් කෝන්තරයක් අරබයා කිසිවකු මේ අපරාධය සිදුකළේද? නැතිනම් මෙය සියදිවි නසා ගැනීමක්ද? සියදිවි නසාගැනීමක් ලෙස පෙන්වන්නට කළ ඝාතනයක්ද? ආදී සැකසංකා රාශියකි.

එවැනි සැකයෙන් පැමිණි මීගමුව පොලිසියේ නිලධාරීන් කඩිනමින් විමර්ශන ආරම්භ කළේය.  මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් අබේනායක ඇතුලු නිලධාරීන් සමග මීගමුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රීපති මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විමර්ශන සිදුකළේය.

නිදන කාමරයේ ඇඳට ඉහළින් වූ බාල්කයක ඔහු එල්ලී තිබුණේ වැඩි ඝනකමක් නැති පොලිතින් අඩංගු ලණු පොටකිනි. ඇද ඇතිරිල්ල තරමක් පොඩිවී තිබුණද ඒ අසළ පුටුවක් හෝ නොවීය. කාමරය සෝදිසි කිරීමේදී ප්‍රාදේශීය ලේකම් විසින් ලියන්නට ඇතැයි සැක කෙරෙන ලිපියක් හමුවී තිබිණ. එය ඔහුගේ මව වෙත ලියන ලද්දකි.

”අනේ… අම්මේ මට සමාවෙන්න ජානක අයියට ඔක්කොම කිව්වා. මේ දුක් මට දරාගන්න බැහැ මම ඉපදිලා තියෙන්නේ දුක් විඳින්ට විතරයි. මට තවත් දරාගෙන ඉන්න බැහැ. ජානක අයියා කොහොමහරි ඔයාලව බලාගනීවි. නංගිට කියන්න මට අනේක වාරයක් සමාවෙන්න කියලා මම වෙන මොනවද කියන්නේ අම්මේ……” 

යැයි එහි සටහන් කොට තිබිණ. මේ අතර පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා සිය රියැදුරා වෙතද ලියමනක් ලියා ඇති බවකි. එහි සඳහන් කොට ඇත්තේ ඔහුට අයත් මුදල් සහ බැංකු කාඩ් පත් සිය මස්සිනා වෙත බාරදෙන ලෙස ඉල්ලීමකි.

මෙම මරණය පිළිබඳ පරීක්ෂණය මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ එදිනම සිදුකළේය. මරණ පරීක්ෂණයේදී මියගිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ මව වන සිංගප්පුලිගේ සෝමලතා මහත්මිය සාක්ෂි දෙමින්,

”මියගොස් සිටින අයේෂ් පෙරේරා මගේ පුතා. පුතා විවාහකයි. පුතාට දරුවන් නැහැ පළමු දරුවා මියගියාම ඔහුගේ බිරියත් අසනීප වුණා. දැන් මාස හතරක සිට රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. ඇයට කම්පනය නිසා කතා කිරීමටත් බෑ. පුතාගේ රුකියාව මීගමුව ප්‍රාදේශීය ලේකම්. ඔහු සිගරට්, අරක්කු බොන්නෙත් නැහැ. අසනීප කිසිවක් තිබුණේ නෑ. බබා මියගිය නිසාත් බිරිය අසනීප නිසාත් පුතා නිතරම දුකින් සිටියා. මීට සති 2ට පෙර මාව බලන්න පුතා මාකෙවිට ගෙදරට ඇවිත් ගියා දැනට එම නිවසේ කිසිවෙකු නැහැ. මැයි 30 මට මීගමුව නිල නිවාසයට එන්න කිව්වා. 31 වෙනිදා උදේ 7ට විතර පුතා කතාකර එනවද කියා ඇසුවා. තනියම එන්න එපා මල්ලිත් එක්ක එන්න කිව්වා. මම මීගමුවට ආවාම නංගිලා, ගෙදර අය මාව මීගමු රෝහලට එක්ක ගියා. ඊටපස්සේ දැනගත්තා පුතා ගෙල වැලලාගෙන මිය ගිහින් කියලා. මම පුතාගේ මෘතදේහය හඳුනාගත්තා මට මෙම මරණය ගැන සැකයක් නෑ” යැයි පැවසීය.

මීගමුව රෝහලේදි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පසුව වෛද්‍ය වාර්තා හා සාක්ෂි සැලකිල්ලට ගෙන මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් මේ මරණය ගෙල වැලලාගන සිදුකරගත් සියදිවි නසා ගැනීමක් බවට   සඳහන් කර ඇත.

ජාඇල, මාකේවිට පදිංචිකරුවකු වූ මියගිය අයේෂ් පෙරේරා මහතා 41 හැවිරිදිය. ඔහුගේ බිරිය කුළුඳුල් දරුවා බිහිකිරීමෙන් පසුව දරුවා මියගොස් ඇති අතර ඒ කම්පනයෙන් බිරිය අසනීප වී මාස හතරක පමණ කාලයක් රාගම පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබන්නීය. මේ ගැටලු හමුවේ ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා මහතා දැඩි මානසික පීඩනයක පසුවී සියදිවි නසාගෙන ඇති බව අනාවරණය වී ඇත.

සමන්ත විල්තෙර