ගෝඨා කලකට පසුව තමන් කල වැරැද්ද පිළි ගනියි

0

තමන් කල වැරැද්ද පිළි ගනියි

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කාලයේ පටන් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ ආචාර්ය පී. බී. ජයසුන්දරය. ඔහු ආර්ථික ඝාතකයකු බව මහින්දගේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ විමල් වීරවංශ කීවේය. ඔහු දිගින් දිගටම පී.පී. විවේචනය කළත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ පසු රාජ්‍ය සේවයේ ඉහළම පුටුව වූ ජනාධිපති ලේකම් ධුරයට ද පත් කෙරුණේ පී. බීවය. එම කාලයේදී ආර්ථිකය කඩා වැටෙන විට විවිධ පුද්ගලයන් චෝදනා එල්ල කළේ ජනාධිපති ලේකම්වරයාටය. චෝදනා එල්ල වූවත් ඔහු ලේකම් ධුරයෙන් ඉවත් නොවී ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා කිසිවිටක සිය ලේකම්වරයා ‘‘ෆේල්’’ බව පිළිගන්නට අකැමැති වූයේය.

ජනාධිපති ලේකම් ලෙස සිටි පී. බී. ජයසුන්දරගේ පත්වීමද වැරදි බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තේරුම් ගියේ ධුරය නැතිවීමෙන් පසුවය. එය ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිටගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයේදීය. අනූෂ පැල්පිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මෙන්ම අමාත්‍යාංශ රැසක ලේකම්වරයකු ලෙසද කටයුතු කර තිබේ. එබැවින් හිටපු සහ දැනට රාජ්‍ය සේවයේ සිටින ඉහළ නිලධාරීහු රැසක් ද දේශපාලනඥයන් රැසක්ද ඔහුගේ පුතාගේ විවාහ මංගල්‍යයට එක්ව සිටියහ.

ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සිටියහ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසුන්ගෙන සිටි ස්ථානයට පැමිණි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්වැල්ල, හර්ෂ අබේවර්ධන ඇතුළු පිරිසක් පැමිණ ආගිය තොරතුරු කතාබහ කළහ. එම අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා කීවේ ‘‘මගේ මිරිහානේ ගෙදර ගස්වල මල් එන්නෙත් නැහැ, ගෙඩි එන්නෙත් නැහැ.’’ යනුවෙනි. ඒ සමගම සිනහසෙමින් මහනුවර දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ අපූරු කතාවකි.

‘‘ඔය පී.බී.ගේ කාබනික පොහොර දාලා හදපුවනේ.’’ ඔහුගේ ප්‍රකාශයට සිල්ලන්ටම සිනහ ගියහ.

‘‘එයා මගේ ලේකම්වෙලා පත්වෙනකම් මම දන්නේ නැහැ. පී.බී. ලේකම් ධුරයට පත් කිරීම වරදක් බව මම පිළිගන්නවා.’’ යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. ‘‘ඔබතුමා දැන්වත් පිළිගන්නවා නම් ඒ ඇති.’’ මේසයේ සිටි සියලු දෙනාම කීවේ මීට පෙරද මේ පිළිබඳ කතා කළ බවද සිහිපත් කරමිනි.