2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම ඉලක්කයයි – ජනපති

0

2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක්

මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා අවධාරණය කළේ තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බවය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

“මම රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම භාරගත් දින පටන්ම මම විටින් විට ආර්ථිකය පිළිබඳ සැබෑ තොරතුරු හෙළිදරව් කළා.” 

“මට අවශ්‍ය වුණේ ආර්ථිකයේ සැබෑ චිත්‍රය සෑමවිටම ඔබ හමුවේ තැබීමට.”

“රට වෙනුවෙන් සිදුකළ යුතු කාර්යභාර්ය පිළිබඳවත් මම ඔබව දැනුවත් කළා.” 

“පීඩාකාරී ආර්ථිකයකින් දුක්විඳිමින් සිටි අප දැන් ක්‍රමක්‍රමයෙන් සහනදායී මට්ටමකට එළඹෙමින් සිටිනවා. දුර්වල ආර්ථිකය කිසියම් ස්ථාවර මට්ටමකට පත්වෙමින් තිබෙනවා.”

“පසුගිය කාලයේ අපි ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසා මෙම තත්ත්වය අපිට උදා කරගන්න පුළුවන් වුණා. ඒ වගේම අපි එකතුවී අභියෝගයන්ට මුහුණ දුන් නිසා.”

“තව ටික කාලයක් මේ මාර්ගයේම ඉදිරියට යෑමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කරගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගැනීමට පුළුවන්කම ලැබෙනවා. ශ්‍රී ලංකාව දැන් වර්ධනාත්මක සමෘද්ධිමත් ගමනක් යෑමට සූදානම්.”

“අපේ ගමන ඉදිරියට යාමට අනුගමනය කළයුතු පිළිවෙත් මම අද ඔබට ඉදිරිපත් කරනවා.”

“යහපත් අනාගතයක් ගොඩනැංවීම වෙනුවෙන් අප වර්තමානයේ මෙම පියවර ගතයුතුමයි. මෙහිදී අප ගන්නා තීරණ දුෂ්කර මෙන්ම වේදනාකාරී වෙන්න පුළුවන්. ජනප්‍රිය නොවන්න පුළුවන්.”

“නමුත් රට යළිත් ඉහළට ඔසවා තැබීමට හැකිවන්නේ ඒ තුළින්.”

“සාම්ප්‍රදායික දේශපාලනයේ යෙදෙන ඇතැම් කණ්ඩායම් ආර්ථීක පුනර්ජීවනය වළක්වාලීමට විවිධ උත්සාහයන් ගන්නවා.” 

“ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ බොරු බියක් ජනතාව තුළ ඇති කරන්න වෙහෙස වෙනවා. රට විකුණන්න යනවා කියන සටන් පාටයෙන් තවදුරටත් ජනතාව මුලා කරන්න උත්සාහ ගන්නවා.” 

“2048 වනවිට ලෝකයේ පූර්ණ සංවර්ධිත රාජ්‍යක් බවට පත්වීමේ අපේ ඉලක්ක ඉටුකර ගැනීමට අපේ ආර්ථිකය හැඩගස්වා ගත යුතුයි.”

“බංකොලොත් රටක් පැරණි ක්‍රමවේදවලින් ගොඩගැනීම සිදුකළ නොහැකියි. ඒ නිසා අපි අලුතින් සිතා අලුත් ගමනක් ආරම්භ කළ යුතුයි.”

“ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ජීවන මට්ටම ඉහළ යනවා. එය වරදක් ද?. ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය වෙනවා.”

“රුපියල් මිලියන ගණනක පාඩු පියවා ගැනීම සඳහා ජනතාවට බර පැටවීමේ සම්ප්‍රදාය අවසන් වෙනවා.ලෝකයේ වඩාත්ම වේගවත් වර්ධනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙනවා.” 

“මේ ප්‍රතිසංස්කරණ ඔස්සේ අපේ වෙළෙඳපොළ පුළුල්කර ගැනීමටත් අවකාශ සැලසෙනවා.”

“මේ ගමන ලෙහෙසි පහසු ගමනක් නොවේ. බොහෝ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා.”

“මීට වසරකට පමණ පෙර රට ඇදවැටී තිබූ තත්ත්වයට යළි රට ඇද දැමීමට අපි කිසිවෙකුටවත් ඉඩ දෙන්නේ නැහැ.”

“දැන් සමහරුන්ට අමතකයි. රටේ ආර්ථිකය -7.8කි ඇකිලුනා. විදේශ විනිමය සංචිතය අන්තිම අඩියට වැටුණා. රට බංකොළොත් වුණා. දින ගණන් පෝලිම්වල ඉන්න වුණා. ආහාර හිඟ වුණා. රැකියා ආදායම් මාර්ග නැති වුණා. විදුලි බල කප්පාදු තිබුණා. ජනතාව නොසන්සුන් වුණා.”

“රට භාරගත් වෙලාවේ මට තිබුණු එකම ශක්තිය මේ අසීරු වැල් පාලමෙන් එගොඩ කරන්න හැකි බවට මා තුළ විශ්වාසය හා අධිෂ්ඨානය පමණයි.”

“අප මුලින්ම රට දැඩි මූල්‍ය පාලනයකට යටත් කළා. IMF සහාය ලබාගත්තා. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු වෙනත් මූල්‍ය ආයතන සමග එක්ව රටට ණය ආධාර ලබාගැනීමේ වැඩසටහන් ආරම්භ කළා.” 

“මෙහිදී අපිට අසල්වැසි ඉන්දියාව විශාල ලෙස සහාය වුණා, බංග්ලාදේශය, ජපානය, චීනය, පැරිස් සමාජය අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වුණා. අපේ විදේශ ශ්‍රමිකයින් උපරිම ලෙස දායක වුණා.”

“2022 වසර හා සසඳන විට මේ වසරේ මුල් කාර්තුවේ විදේශීය ශ්‍රමිකයින් එවන මුදල් 80.6%කින් ඉහළ නැංවී තිබෙනවා. නව බදු ප්‍රතිපත්ති නිසා 2023 පළවෙනි කාර්තුවේ රුපියල් බිලියන 210ක අතිරේක ආදායමක් ලබා තිබෙනවා.

“70%ක් දක්වා ඉහළ නංවා තිබුණු උද්ධමනය දැන් 25.2% දක්වා පහත වැටිලා. මේ නිසා ජීවන බර ක්‍රමක්‍රමයෙන් පහසු වෙලා. සමාජයටම ඒක දැනෙමින් පවතිනවා.”

“මෙතැන් පටන් අපි ඉදිරියට යන්නේ, අපේ ඊළඟ ක්‍රියාපිළිවෙත ප්‍රධාන කුලුනු 04ක් මත ක්‍රියාත්මක වෙනවා.”

01. රාජ්‍ය මූල්‍ය සහ ප්‍රතිසංස්කරණ

02. ආයෝජන ප්‍රවර්ධනය

03. සමාජ ආරක්ෂණ ජාලය

04. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ