දෝනිගේ ‘කහ කුරුල්ලෝ’ – අයිපීඑල් අවසන් සටනට පියාඹති

0

අවසන් සටනට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ නියෝජනය කරන, මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන කහ වර්ණයෙන් සැරසෙන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2023 අයිපීඑල් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය සඳහා පෙරේදා (23 වැනිදා) රාත්‍රියේදී සුදුසුකම් ලැබීය.

ලබන ඉරිදා අහමදාබාද් හි පැවැත්වෙන එම අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අයිපීඑල් අදියර 14 ක දි අවසන් මහා තරගය නියෝජනය කරන 10 වෙනි අවස්ථාව වේ.

වත්මන් අයිපීඑල් ශූරයන් වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායිහි චින්නසාමී ක්‍රීඩාංගනයේදී පැවැති තරගයෙන් ලකුණු 15 ක ජයග්‍රහණයක් ලබමින් දෝණිගේ කණ්ඩායම එම අවස්ථාව උදාකර ගත්තේය.

එම තරගයේදී චෙන්නායි කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙදෙනා වූ මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් කඩුලු 2 බැගින් ලබා ගත්හ.

සිය පන්දුවාර 4 තුළ ලකුණු 28 ක් පමණක් ලබා දෙමින් ගුජරාට් කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යාගේ කඩුල්ල හා රාහුල් තෙවාටියාගේ කඩුලු දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වූ අතර මතීෂ පතිරණ ලකුණු 37 කට කඩුලු දෙකක් දවා ගත්තේය.

එම තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස් කිරීමට සමත් වූ අතර ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි.

ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 16 කින් ලකුණු 17 ක් ලබා ගත් අතර මහීෂ් තීක්ෂණ අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය.