ආර්ථික අරබුදයේ ඛේදවාචකය – මුදලකට පියයුරු ස්පර්ශ කරන්න දෙන අනුරාධපුර පාසැල් දැරියෝ

0

අනුරාධපුර පාසැල් දැරියෝ

1️⃣අනුරපුර පින්බිමේ දවසකට ළමා අපචාරත් දෙකයි…’ ශීර්ෂය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා සිදුවන අපචාර සිද්ධි ගැන ‘දිවයින ඉරිදා සංග්‍රහයෙ’හි සටහනක් තබා වැඩි කාලයක් නැත. ඒ මේ වසරේ ජනවාරි මස 29 වැනි ඉරිදාය. එදා අප හෙළිදරව් කළ අනුරාධපුර ළමා අපචාර වැඩිවීම මෙදා කරලියට පැමිණ තිබේ.

මේ වසරේ මුල් මාස හතර තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වෙත ළමා හා කාන්තා බරපතළ අපරාධ හැත්තෑහතරක් වාර්තා වී ඇති බවත් එම සංඛ්‍යාව ලේඛන දත්ත හා සැසඳීමේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා අපයෝජනවල ක්‍රමික වර්ධනයක් ඇති වී තිබෙන බව ද අනුරාධපුර පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍යාමලී දිසානායක පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබිණි. ළමා හා කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් ලෙස පොලිසිය හා රාජ්‍ය නිලධාරීන් එවැනි අපරාධ අවම කර ගැනීමට කටයුතු කළ යුතු කාලය එළැඹ ඇති බව ද ඇය පවසා තිබිණි. ඇයගේ කතාව අගනේය. එහෙත් ක්‍රියාවෙන් සිදු වේ ද යන්න ගැටලුවකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර, කැබිතිගොල්ලෑව සියලුම පොලිස් කොට්ඨාසවල ළමා අපචාර සිද්ධි වාර්තාවීම වේගවත් වූයේ මේ වසරේ මුල් කාර්තුවේ පමණක් නොවේ. පසුගිය වසරටත් එපිට සිටය. පසුගිය වසර අවසානය වන විට තන්තිරිමලේ, විලච්චිය, ගල්කිරියාගම, එප්පාවල, ගාලදිවුල්වැව, නොච්චියාගම සහ තඹුත්තේගම යන ප්‍රදේශවලින් වාර්තා වන ළමා අපචාර සිද්ධි අතිශය ඉහළ මට්ටමක පැවැති බව වාර්තා විය. එමෙන්ම එම ප්‍රදේශවලින් බහුලව වාර්තා වෙමින් තිබුණේ වයස අවුරුදු හයේ සිට ඉහළට දැරිවියන්ට සිදුවන අපයෝජන සිද්ධිය. වයස අවුරුදු හයට වැඩි ගැහැනු ළමයි බොහෝවිට දූෂණයට ලක් වෙන්නෙ පෙම්වතාගෙන් බව ද වාර්තා විය. එම කතාව තවදුරටත් සනාථ කරන සිද්ධි කිහිපයක් පසුගිය දිනවල ද අපට වාර්තා විය. ඒ අනුරාධපුර හද්ද වන්නියෙන් නොවේ. අනුරාධපුර නගරයේ සුපිරි පාසල් ඇසුරිණි. කන වැකෙන විට සියොළඟම හිරි වැටී යන එම කතා පෙළ පෙළගැසෙන සටහනට එකතු කිරීමට වරක් නොව, කිහිප වරක් අපි සාකච්ඡා කළෙමු. එහෙත් තුන් ලොවටම අග්‍ර වූ රුවන්මැලි මහා සෑ රජුන්, සිරිමා බෝ සමිඳු වැඩ හිඳින අටමස්ථාන පුණ්‍ය භූමිය අවටින් නිරන්තරයෙන් මෙවැනි කතා වාර්තාවීම පාපයකි. එම පව්කාර සිද්ධි දැනගෙන වාර්තා නොකර සිටීම අප කරන වරදකි. එහෙයින් සියලුදෙනාගේ එකඟතාව මත හදවත් පාරවන එම සිද්ධි මාලාව පෙළගැසෙන සටහනට මෙසේ එකතු කිරීමට අපි අදහස් කළෙමු.