නෙත්තිකුමාරගේ මෙහෙකාරියට ගහපු පොලීසියේ 4 ක් ගෙදර

0

සුදර්මාගේ මුද්ද

අත්අඩංගුවට ගත් මෙහෙකාර කාන්තාවකගේ මරණය  සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිවු දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

වැලිකඩ පොලීස් ස්ථානාධිපතිවරයා ද වහාම වෙනත් පොලිසියකට මාරු කරන ලෙස ද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පොලිස්පතිවරයා  නිර්දේශ කර ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

උප පොලිස් පරීක්ෂකවරයකු , පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ මෙසේ තහනම් කර ඇත.

තවත් පොලිස් කොස්තාපල්වරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු වෙනත් ස්ථානවලට මාරු  කර යවා ඇත.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක ගේ රන් මුදුවක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ඉකුත් 11 වැනි දින වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්වසන අපහසුතාවයකින් පෙලුනැයි කියමින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම කාන්තාව මිය ගියාය. මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල මඩොල්සිම පදිංචිව සිටි ආර්. රාජ් කුමාර් 42 තිදරු මවකි.

අදාළ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා  විමර්ශනයක් සිදුකරන ලෙස විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද නියෝගය අනතුරුව විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවට අනාවරණය වී තිබිණි.