සුදර්මාගේ මුද්ද මෙහෙකාරියට මරණය ගෙනෙයි. පොලීසියත් අමාරුවේ.

0

සුදර්මාගේ මුද්ද

ප්‍රකට ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක සහ කෝටිපති ව්‍යාපාරිකාවක වන සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිටියදී අබිරහස් ලෙස මියගිය මෙහෙකාරියට පොලිසිය තුළදී පහර දීමක් සිදුව ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් කරනු ලබන විමර්ශනවලින් හෙළි වෙමින් තිබේ.

එසේම මෙම මෙහෙකාරියව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියද ඇයව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු සටහනක් නොතබා නීති විරෝධී ලෙස රඳවාගෙන සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. සුදර්මා නෙත්ති කුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකමකට අත්අඩංගුවට ගත් මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේදී අබිරහස් ලෙස මිය යෑම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලබන්නේ පොලිස්පතිවරයාගේ නියමයෙන්ය. ඒ ඇගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවට පොලිස්පතිවරයාට විවිධ පාර්ශ්ව සහ බුද්ධි අංශවලින් ලද තොරතුරු සැලකිල්ලට ගෙනය.

සුදර්මා නෙත්ති කුමාර මහත්මියගේ නිවෙසේ සිදු වූ සොරකමට සැක යැයි කියා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී පොලිස් භාරයේදී මිය යන්නේ බදුල්ල නාවල වත්ත දෙමෝදර පදිංචිකාරියක වන ආර්. රාජ් කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවකි. ඇය තිදරු මවකි. සුදර්මා නෙත්ති කුමාර මහත්මිය විසින් පසුගිය 11 වැනිදා කළ පැමිණිල්ලකට අනුව මෙහෙකාරියව පොලිසිය එදිනම නීති විරෝධීව අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ ඇය බොරැල්ල කොටා පාරේ පිහිටි නිවෙසක සේවය කරමින් සිටියදීය.

වැලිකඩ පොලිසියේ නිලධාරීන් ඇයව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ රඳවාගෙන පහර දෙමින් ප්‍රශ්න කර ඇතැයි හෙළි වන්නේ සුදර්මා නෙත්ති කුමාර මහත්මියගේ නැති වුණු රන් මුදුවක් ගැන බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය. තමා කිසිවක් සොරා නොගත් බව ඇය පවසන විට පොලිස් නිලධාරීන් ඇයට පහරදී ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතැයි සඳහන් කරමින් ඇයව පොලිසිය කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත්තේ පහරකෑම් හමුවේ ඇය සිහිසුන් තත්ත්වයකට පත්වීමෙන් අනතුරුව බවද පොලිස් තොරතුරු සඳහන් කළේය. වැලිකඩ පොලිසිය පැත්තෙන් මේ ගැන මුලදී කියැවුණේ ඇයව අත්අඩංගුවට ගෙන සිටියදී හුස්ම ගැනීමේ අපහසුතාවකට ලක්වීමෙන් පසු රෝහල්ගත කළ බවත් එහිදී ඇය මිය ගිය බවත්ය. ඇගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබාදී ඇත්තේද විවෘත තීන්දුවකි. ඇගේ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයාටද යොමු කර ඇති බව සඳහන්ය. ඇගේ මරණය සිදු වූයේ පොලිස් පහරදීමෙන්ද? එසේත් නැති නම් පොලිස් පහරදීමෙන් ඇති වූ බිය හෝ වෙනත් රෝගී තත්ත්වයක් උත්සන්න වී දැයි මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත. නමුත් ඇගේ මරණය සිදුව ඇත්තේ නීති විරෝධිව අත්අඩංගුවට ගෙන පොලිසිය තුළ රඳවාගෙන පොලිස් පහරදීමකින් අනතුරුව බව පැහැදිලි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙහිදී බස්නාහිර ඉහළ පොලිස් නිලධාරියකු කෙසේ හෝ මෙම මුද්ද සොයා දිය යුතු බවට වැලිකඩ පොලිසියට බලපෑම් කර ඇති තොරතුරක්ද මේ වනවිට අනාවරණය වී ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.