විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන කොමිසමට

0

විදුලි ගාස්තු සංශෝධන

විදුලිබල මණ්ඩලය ලබන ජුලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සකස් කළ විදුලි ගාස්තු යෝජනාව අද (15) පස්වරුවේ මහජන උපයෝගීතා කොමිසමට භාරදුන් බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

රජයේ ප්‍රතිපත්ති තීරණ සහ විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය අනුගමනය කරමින් සෑම වර්ෂයකම දෙවතාවක්, ජනවාරි 1 වැනිදා සහ ජුලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයට අනුකුලව එම යෝජනාව ඉදිරිපත් කළ බවත් විදුලිබල මණ්ඩලය එම යෝජනාව සකස් කිරීමේදී සත්‍ය විදුලිය ජනන දත්ත සහ විදුලිය විකුණුම් දත්ත, සත්‍ය ඉන්ධන, ගල්අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් යොදාගත් බවත් එම නිලධාරියා කීය.

මෙම වසරේ විදුලි ජනන සැළසුම සහ විදුලි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එහි උපරිම ප්‍රතිලාභය, විදුලිය අඩු වශයෙන් භාවිතා කරන පාරිභෝගිකයන් වෙත ලබාදීම අරමුණු කර ගෙන එම යෝජනාව සකස් කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.