පියත් නිකේෂලට කල අමනුෂික පහරදීම හෙළා දකිනවා – සර්වපාක්ෂික අරගලකරුවෝ

0

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඊයේ (10) මහමගදී පියත් නිකේෂලට කල අමානුෂික පහරදීම සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධනය හෙළා දැක තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සර්වපාක්ෂික අරගල කරුවන් ඉල්ලිම් කරන්නේ අද (11) දහවල් පැවැත්වෙන විරෝධතාවයටද එක්වන ලෙසයි.

සර්වපාක්ෂික අරගලකරුවන්ගේ සම්පූර්ණ නිවේදනය පහලින්

2023.05.11
මාධ්‍ය නිවේදනයයි.

පියත් නිකේෂලට එල්ල කළ ම්ලේච්ඡ මැර ප්‍රහාරය හෙළා දකිමු.

ජන අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු, සමාජ ක්‍රියාකාරිකයකු හා නිදහස් මාධ්‍යවේදියෙකු වන පියත් නිකේෂල සහෝදරයා ඉලක්ක කරගනිමින් කොස්වත්ත – සමගි මාවත ප්‍රදේශයේදී කඩුවෙල උප නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක් විසින් එල්ල කරන ලද අමානුෂික හා ම්ලේච්ඡ මැර ප්‍රහාරය සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය ලෙස අප ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

මහජන අරගලයට පණ පෙවූ සමාජ ක්‍රියාකාරීන් ජනාධිපතිවරයා සහ රජය විසින් නෛතික ක්‍රියාමාර්ග ඔස්සේ මර්දනය කිරීමට උත්සාහ දරන අතර පොහොට්ටුවේ ගෝත්‍රික බිම් සගයන් මැර ප්‍රහාර හා ප්‍රචණ්ඩත්වය හරහා මර්දනය ක්‍රියාත්මක කිරීම මගින් රටේ පුරවැසියන්ගේ නිදහස අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අභියෝගයට ලක්ව ඇති බව පැහැදිලිය.

උද්ධච්ච, අමන අත්තනෝමතික පාලනයකට අත්විය යුතු, අත්කර දිය යුතු ඉරණම මින් වසරකට පෙර මෙරට පොදු මහජනතාව විසින් සපථ කර ඇති පසුබිමක, නැවතත් එවන් පාලනයක් තුළින් මහජන බලයට අභියෝග කිරීමට තරම් අනුවණ නොවන ලෙස අපි ජනාධිපතිවරයා ඇතුළු රජයේ සියලු පාර්ශ්ව වෙත දැනුම් දීමට කැමැත්තෙමු.

මෙම ම්ලේච්ඡ පහර දීමට අදාළ සියලු පුද්ගලයන් වහා නීතිය ඉදිරියට පමුණුවා අපක්ෂපාතී පරීක්ෂණයක් මගින් වරදකරුවන්ට අදාළ නීතිය ක්‍රියාත්මක කරන මෙන් ජනාධිපතිවරයාගෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටිමු.

එමෙන්ම මේ ම්ලේච්ඡ දේශපාලනයට එරෙහිව සහ යළි හිස ඔසවන අනීතික මර්දනයට එරෙහිව විරෝධය දැක්වීම සඳහා අද (11දා) ප.ව. 1.00ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණෙන ලෙසද සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

–සර්වපාක්ෂික අරගලකරුවෝ