ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
Covid 19 new cases in sri lanka yesterday - කොරෝනා ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

ඊයේ දිනයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 2377 අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් එනම්, 573 දෙනෙකු වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එයින් ආසාදිතයන් 130ක් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන අතර, හංවැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 58 ක් සහ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 56 ක් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 530 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 257 ක් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ වනවිට මෙරටින් හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් 172,277 දෙනා අතරින් 75,193 දෙනෙකු අප්‍රේල් 15 වැනිදායින් පසුව වාර්තා වී තිබෙනවා.

එසේම, සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසු වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 688 ක්.

මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,298 ක් ලෙස සටහන් වනවා.

ඉන් 688 ක් අප්‍රේල් 15 වැනිදායින් පසුව වාර්තා වී ඇති අතර, එය සමස්ත මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට සියයට 53 ක්.

එම කාලය තුළ මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 399 දෙනෙකු සහ කාන්තාවන් 289 දෙනෙකු වනවා.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කළ කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 29 අතරින් දෙකක් ඊයේ සිදුව තිබෙනවා.

ඊට අමතරව අනෙක් මරණ 27 සිදුව ඇත්තේ මැයි මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා වූ කාලය තුළයි.

ඊයේ තහවුරු කරන ලද මරණ අතරින් 08ක්ම සිදුව ඇත්තේ නිවෙස් තුළදී වන අතර 20 හැවිරිදි තරුණියක්ද කොරෝනා ආසාදනයෙන් බදුල්ල මහ රෝහලේදී මිය ගොස් තිබෙනවා.

පසුගිය අප්‍රේල් 15 වැනිදායින් පසුව මෙරටින් කොරෝනා ආසාදිතයින් 75,193 ක් හඳුනාගෙන තිබූ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 90,637 ක්.

විදේශ රටවල සිට දිවයිනට පැමිණි පුද්ගලයින් අතරින් 4,533 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, මුල් අවස්ථාවේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,962 ක්. ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,377 දෙනා සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 172,277ක් දක්වා ඉහළ ගියා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව වැඩි විස්තර – https://covid19.gov.lk/sinhala/