දරුවන් ලෙඩ කරන “ඇඩිනෝ”

0

පසුගිය මාස කිහිපය පුරාම කුඩා දරුවන් අතර වයිරස් උණ රෝග තත්ත්ව පැතිර යාමේ වැඩි වීමක් දක්නට ලැබිණි.   පසුගිය කාලය පුරාවටම ළමා රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයෙන් දිනකට වාර්තාවූ ළමා උණ රෝගීන්ද ඉහළ ගොස් තිබේ.

වාර්තා වූ ළමා උණ රෝගීන් අතර ඉන්ෆ්ලුවන්සා ‘ඒ‘ සහ ‘බී‘ කාණ්ඩ දෙකම  විය. තද උණ,කැස්ස, හෙම්බිරිස්සාව, වමනය වැනි ලක්ෂණ ඉන්ෆ්ලුවන්සාවලදී පැහැදිලිවම දක්නට ලැබිණ. ඒ අතර ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගෙන් සුළුතරයක් දෙනාට ඇස්වලින් කබ ගැලීමේ ස්වභාවයක්ද මතු විය.

එබැවින් මෙය ඉන්ෆ්ලුවන්සා තත්ත්වයටත් වඩා ඇඩිනෝ වයිරසය නිසා මතුවූ අලුත් තත්ත්වයක් විය හැකි බවට විවිධ මත පළ විණි. ඉන්ෆ්ලුවන්සා රෝගීන් යැයි තහවුරු කළද මේ වනවිටත් ඇඩිනෝ වයිරස තත්ත්වය බවට තහවුරු කර නොමැත. මෙහිදී උණ, කැස්ස, හෙම්බිරිස්සාව සමඟ ඇස් රතු වීම ,ඇස්වලින් කඳුළු ගැලීම ,කබ ගැලීම ආදී ලක්ෂණද ඇති වේ.

අක්ෂි රෝගයකට සමාන රෝග ලක්ෂණ මතු කරමින් හට ගැණෙන නව රෝගී තත්ත්වය කුඩා දරුවන් අතර ඉතා ඉක්මනින් මෙන්ම පහසුවෙන්ද පැතිරේ. මෙවැනි සැක සහිත ලක්ෂණ දරුවකුට ඇත්නම් වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුය. වයිරස් උණ තත්ත්වයකට ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන අතර වෛද්‍ය උපදෙස්වලට අනුගත වීම තුළ ටික දිනකින් එය පහවී යයි. ඒත් සමහරුනට වයිරස් තත්ත්වයට පසුව ද්විතීය බැක්ටීරියා ආසාදන තත්ත්වයක්ද මතුවිය හැකි අතර එවිට වෛද්‍යවරයා විසින් ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කෙරේ.

සාමාන්‍යයෙන් ඇසේ කබ ගැලීම වයිරස තත්ත්වය නිසාවෙන් නම් මෙය ඉබේටම පහවී යනු ඇත. ඒත් මේ තත්ත්වයේ දිගින් දිගටම වැඩි වීමක්, සුව වීමට කල් ගත වන බවක් දැනේ නම් එබඳු රෝගීන්ව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්විය යුතුවේ. මෙම රෝගියකුගෙන් ලබා ගන්නා කබ පරීක්ෂා කොට බලා මේ තත්ත්වය වයිරස් තත්ත්වයක් නිසාවෙන් හට ගැණුනක්ද, නොඑසේනම් වෙනත් අක්ෂි රෝගයක්ද යන්න තීරණය කෙරේ. වයිරස නොවන තත්ත්වයකදී ප්‍රතිජීවක ලබා දේ.