ජීවිතයකටත් වඩා වටින වැඩ තිබුණ මිනිස්සු

0

අනෙකාට කුමක් සිදුවුවද තමා ගැන පමණක් සිතන මිනිසුන්ද ඉඳ හිට නැතුවාම නොවේ.

එවන් පිරිසක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනක් මේ.

– #systemchange –
අද උදෑසන පෙ:ව: 7.30 පමන ගාල්ල – මාකුඹුර බස් රථයට ගොඩ වූයේ අත්‍යවශ්‍ය කරුනක් සදහා කොලඹ යාමටය.තෙහෙට්ටු ගතිය නිසා බස් රථයේ නින්ද ගිය අතර ඇහැරුනේ පිටුපස අසුනේ සිටි අය පිටට තට්ටු කරමින් බසයේ පිටුපස අසුනේ මගියෙක් අසනීප වී ඇති බව දැනුම් දුන් නිසාය.

බසයේ පිටුපසට ගොස් සොයා බලනවිට කුඩා දරුවන් දෙදෙනෙක් උකුලේ තබා ගත් කාන්තාවක් ඉතා අපහසුවෙන් සිටින අයුරු දකින්නට හැකි විය.වැඩි දුර තොරතුරු විමසූ විට පපුවේ වේදනාවක් හා පපුවේ සිරවීමක් ඇති බව පැවසුවාය. වේදනාව පපුවේ වම්පස ඇති වීම හා පපුව සිරකරන වේදනාවක් වීම හා ඇයට දහඩිය දමා ඇති නිසා හදවතේ රෝග තත්වයක් විය හැකි නිසා ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය බව තේරුම් ගියෙන් ලගම ඇති පිටවීමෙන් බස් රථය පිටතට ගන්නා ලෙස රියදුරු මහතාට දැනුම් දුනෙමි.වැලිපන්න පිටවීමෙන් බස් රථය එලියට ගත් පසු රෝගී කාන්තාව සෙමෙන් බස් රථයෙන් බැස ගත් අතර කුඩා ලමුන් දෙදෙනාට බැස ගැනීමට උදවු කර කාන්තාවට එම ස්තානයේ බංකුවක අසුන් ගැනීමට ඉඩ කඩ සලස්වා දුනිමි. මේ සදහා බස් රථයේ කොන්දොස්තර මහතාද උදවු වූ නමුත් බස් රථයේ කිසිම මගියෙක් කාන්තාවට බසයෙන් බැසීමට වත් උදවු කිරීමට ඉදිරිපත් නොවීය.රෝගී කාන්තාවට වැසිකිළි යාමට අවශ්‍ය වූ බැවින් එවිට එක් කාන්තාවක් පැමින උදවු කලාය.ඇය පේරාදෙනිය හෙද විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක් බව කතා බහේදී තහවුරු විය.කුඩා ලමුන් දෙදෙනා ඉතාමත් බියෙන් සිටි බැවින් මව පැමිනෙන තෙක් ඔවුන් අස්වසාලීමට සිදුවිය .

කොන්දොස්තර මහතා 1990 අමතා තිබූ නමුත් ගිලන් රථය ප්‍රමාද නිසා මා හටද 1990 අමතා කරුනු පැහැදිලි කිරීමට සිදු උනත් නොයෙකුත් හේතු මත ගිලන් රථය ඒම ප්‍රමාද විය.ඒ අතරේ බසයෙන් කීප දෙනෙක් බැස ආ අතර  සිතුවේ ඔවුන් උදවු කිරීම සදහා එන බවක් උනත් ඔවුන් පැමිනියේ කොන්දොස්තර මහතාට චෝදනා කීරීමට බව මොහොතකින් වැටහුනි.ඔවුන්ගේ ගමන ප්‍රමාද වීම ඊට හේතුවයි. මවු කෙනෙකුගේ ජීවිතය කුඩා ලමුන් දෙදෙනෙකුගේ මානසිකත්වය තේරුම් ගැනීමට තරම් මොලයක් හදවතක් මොවුන්ට නොතිබීම කනගාටුදායකය .කොන්දොස්තර මහතා අපහසුතාවයට පත්වීම වලක්වා ගැනීම සදහා මොවුන්ට තදින් කතා කිරීමට සිදුවිය. 1990 ප්‍රමාද නිසා පොලිස් ගිලන් රථයක ඒ මව හා දරුවන් දෙදෙනා නාගොඩ රෝහලට යැවීමට හැකි විය. මේ සදහා පැය 1/2 පමන කාලයක් ගතවිය. ජීවිතයකට වඩා මේ පැය 1/2 බසයේ බොහෝ දෙනාට වටින බව පෙනුනි.  මේ බව අප ආයිත් බසයට නගින ව්ට බොහෝ දෙනෙක්ගේ මුහුනු වලින් තහවුරු විය.

225 බැන බැන චේන්ජ් කරන්න කියන්නේ කාගෙ සිස්ටම්ද කියා සිතුනි. අදම මේ පෝස්ටුව දාන්න සිතුනේ කාරුනික හදවත් කීපයක් මේ සිස්ටම් එක තුල ඉතිරි වී ඇති බව පෙන්වීමටත් මේ සිදුවීමේදී තමන්ගේ ගමන් ප්‍රමාදය නිසා තරහින් අහක බලා ගත් අය පිලිබදව කනගාටුව හා පිලිකුල මාගේ මනසින් ඉක්මනින් ඉවත්  කර ගැනීමටත්ය …