ආච්චි සහ සීයාව ඝාතනය කල මුනුබුරා

0

බල්ලකෙටුව, නාවෙලගම ප්‍රදේශයේදී මුණුබුරා විසින් ආච්චිට සහ සීයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (04) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, 75 හැවිරිදි පුද්ගලයෙකු සහ 69 හැවිරිදි කාන්තාවකි.

ඔවුන් නාවෙලගම පාර, බල්ලකෙටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

මරණකරු හා මරණකාරිය ඔවුන්ගේ මුණුබුරා සමග බල්ලකෙටුව ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිට ඇත.

මරණකරුවන්ගෙන් මුණුබුරා මුදල් ඉල්ලා ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීර දෙමෝදර හා බදුල්ල රෝහල්වල තැන්පත්කර ඇති අතර ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමට බල්ලකෙටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර කිලිනොච්චිය, ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේදී මාමණ්ඩිය විසින් පොල්ලකින් පහරදී බෑනා ඝාතනය කර තිබේ.

ඊයේ (04) උදෑසන කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, 32 හැවිරිදි ක්‍රිෂ්ණපුරම්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු සිය බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් අමනාපවී ඇයගේ දෙමාපියන්ගේ නිවසට ගොස් නැවතී සිට ඇත.

මරණකරු බිරිඳගේ දෙමාපියන්ගේ නිවසට ගොස් එහිදී ආරවුලක් ඇති කරගෙන බිරිඳට පහරදී ඇයගේ නිවසේ ජනේලවල වීදුරුවලටත් පොල්ලකින් පහරදී බිරිඳගේ සහෝදරයාට ද පහරදීමට ලුහුබැඳ යන විට බිරිඳගේ පියා විසින් ඔහුට පොල්ලකින් පහරදී එම ඝාතනය සිදුකර තිබේ.