විදෙස් තරුණියක් බේරාගන්න ගොස් දිවි දුන් සඳුන් ඇල්ලේ වීරයා

0

කිතුල්ගල සඳුන් ඇල්ලේ ත්‍රාසජනක අත්දැකම් ලබාගැනීමට පැමිණෙන විදේශිකයින්ට මඟපෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු අනතුරකට ලක්වීමෙන් මියගෙස් තිබේ.

ඩෙන්මාර්කයේ සිට පැමිණි විදේශිකයන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට කිතුල්ගල සඳුන් ඇල්ල තරණය කිරීම සඳහා මඟපෙන්වමින් සිටි අවස්ථාවේදී ඔහු මෙම අනතුරට මුහුණදී තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ කිතුල්ගල, නපුරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි “මධු” නමින් හඳුන්වන මධුසංක නැමැති උපදේශකවරයෙකි.

කඹ ආධාරයෙන් දිය ඇල්ලේ මුදුණේ සිට පහළට බැසීම සඳහා මෙම විදේශිකයින් කණ්ඩායම මෙම ස්ථානයට පැමිණ ඇත.

එහිදී තවත් උපදේශකයින් දෙදෙනෙකු සමග එකතුවූ මධුසංක මෙම විදේශිකයින්ට සඳුන් ඇල්ලේ පහළට බැසීම සඳහා සහාය වී තිබේ.

එම අවස්ථාවේදී එම ප්‍රදේශයේ කාලගුණය ක්ෂණිකව වෙනස් වී ඇති අතර වර්ෂාව ඇද හැලීමට පටන් ගෙන ඇත.

එහිදී විදේශිකයින් 16  දෙනාගෙන් 15 දෙනෙකු ආරක්ෂිතව දිය ඇල්ලේ පහළට ගෙන ඒමට මෙම උපදේශකයින් සමත් විය.

එක් විදේශික තරුණියක් ට කඹය ආධාරයෙන් දිය ඇල්ලෙන් පහළට බැසීමට නොහැකිව සිරවී ඇති අතර ඇයව පහළට ගෙන ඒම සඳහා මධුශංක ඉදිරිපත්වී තිබුණි.

එහෙත් දිය ඇල්ලේ ජල මට්ටම එකවර ඉහළයාමත් සමග උපදේශකයා දියේ ගිලි නොපෙනි ගොස් ඇත.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ අනෙකුත් උපදේශකවරුන් ප්‍රදේශවාසීන් සමග මදුසංක සේවීමට කටයුතු කර තිබුණ ද ඔහුව සොයා ගැනීමට නොහැකිවී තිබේ.

ඔහුගේ සිරුර දිය ඇල්ලේ පහළ ගං කොටසේ තිබී ඊයේ (03) අලුයම සොයාගෙන ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ඔහුගේ හිසට කිසියම් බර යමක් වැදීමෙන් සිදුවූ තුවාල සහ දියේ ගිලීම හේතුවෙන් එම මරණය සිදුවී ඇති බවය.