“හතේ අපේ පොත” යලි සිසුන් අතට

0

ලිංගික අධ්‍යාපනය ලබා දීමට අදාළව සකස් කරන ලද දැඩි මත භේදයකට ලක් වූ ‘හතේ අපේ පොත ‘යළිත් සිසුන් අතට පත් කරන ලෙසත් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කරන ලෙසත් ‘ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ’ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මෙම දැනුම් දීම කර ඇත්තේ එම සංසදය ඉකුත් දා රැස් වූ අවස්ථාවේ දී ය.

තවද ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලෙස ද උපදෙස් දෙනු ලැබ ඇත.

සෞඛ්‍ය සහ අධ්‍යාපන යන අමාත්‍යාංශ යටතේ ඇති විවිධ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් කෙරේ.

තවද මෙම කමිටුවේ වගකීම් මාස ​​තුනක් ඇතුළත අවසන් කළ යුතු බවත් සභාපතිවරිය දැනුම් දී තිබේ.

වයස අවුරුදු දහසය ඉක්මවූ පාසල් සිසුන් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් පෙළපොත් සකස් කර ඇති බව මෙම සාකච්ඡාවට එක් වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ප්‍රකාශ කර තිබෙන අතර එසේ වුවද දරුවාගේ මනසට ගැළපෙන පරිදි කුඩාකල සිටම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබ ඇත.

පෙළපොත් මුද්‍රණය සඳහා මෙම අවස්ථාවේ මුදල් වැය කිරීම අපහසු හෙයින් පළමු අදියරේදී ‍පෙළ පොත් මුද්‍රණය නොකළද අන්තර්ජාලය හරහා සිසුන්ට පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දිය හැකිය යන්න සංසදයේ අදහස වී තිබේ.

විවාහයෙන් පසුව පවුල් සෞඛ්‍ය නිලධාරි කාර්යාලය මගින් කාන්තාවන්ට ලබා දෙන දැනුවත් කිරීම්වලදී ද ඔවුන්ගේ දරුවන් අනාගතයේ ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කරගැනීම පිළිබදව අවබෝධය ලබා දිය යුතු බවටත් මෙහිදී යෝජනා කර ඇත.

ළමා අපයෝජනවලට මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ ඉතාම අවම දැනුමක් පැවතීම යැයි ද පෙර පාසලේ සිටම ලිංගික අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාව සංසදය යෝජනා කරන බව ද මේ පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් සභාපතිවරිය සඳහන් කළාය.