එක්දින තරගාවලිය පරාජය වීමට හේතු කුසල් කියයි

0
Kusal Janith Perera - පරාජයට හේතු කුසල් කියයි

මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන්, නවක ක්‍රීඩකයින්ට අත්දැකීම් නොමැති වීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, දෙරට අතර ඊයේ(25) ඩකාහී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශය ලකුණු 103 කින් ජය ගත්තේය.

එය බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ පළමු ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණය වේ.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල්

“හරිම සතුටුයි තරගාවලිය ජයග්‍රහණය කිරීමට ලැබීම ගැන. නමුත් අපි බලාපොරොත්තු වූ ආකාරයෙන් මෙම ජයග්‍රහණ ලබා ගන්න බැරි වුණා. අපි බලාපොරොත්තු වෙනවා තුන්වැනි තරගයේදී කණ්ඩායම අපේක්ෂා කරන ආකාරයේ ක්‍රීඩා විලාශය පෙන්නුම් කරලා ඒ බලාපොරොත්තු වෙන ජයග්‍රහණය ලබා ගන්න”

මෙම තරග ජයග්‍රහණයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා

“තරගය පරාජය වීම ගැන කණගාටු වෙනවා. අත්දැකීම් නොමැති වීම මෙම තරගය පරාජය වීමට හේතුවක් වුණා. මැද පෙළ පිතිකරුවන් තරග දෙකේදීම හොඳින් ක්‍රීඩා කළේ නෑ. පිතිකරුවන් ඔවුන්ගේ ශක්තිය හඳුනාගෙන බය නැතුව ක්‍රීඩා කළ යුතුයි”

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අනිද්දා(28) ඩකාහිදී පැවැත්වීමට නියමිතය.