අමාරුකම් නැතිකරගන්න රට ගිහින් වැටුන අමාරුව

0

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික උද්ධමනකාරී තත්ත්වයට එක් පිළියමක් ලෙස තරුණ ප්‍රජාව විදේශ රැකියා සඳහා පිටත්ව යාම තෝරාගෙන තිබේ. ඒ අනුව දකුණු පළාතේ විශේෂයෙන් හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කවල වැඩිදුර පරිගණක ක්ෂේත්‍රයේ දැනුම ලැබූ තරුණයන් 24 දෙනෙක් ලාඕසයේ එම ක්ෂේත්‍රයේ රැකියා සඳහා යාමට සූදානම් වූහ.

ලාඕසයේ බොකියෝ (Bokio) විශේෂිත ආර්ථික කලාපය (Special Economic Zone) එරට රන් ත්‍රිකෝණය තුළ පිහිටා තිබේ. මෙම රන් ත්‍රිකෝණය චීනය, මියන්මාරය සහ තායිලන්තයට සමීපව පිහිටා තිබෙන අතර, මෙම කලාපය තුළ ලෝකයේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය සහ ආයුධ වෙළෙඳාම සිදු කෙරෙයි. මෙම විශේෂිත ආර්ථික කලාපය චීනය විසින් පාලනය කරනු ලබන අතර, එය ශ්‍රී ලංකාවේ “පෝට් සිටි” හා සමාන වේ.

මෙම කලාපය තුළ පිහිටි සමාගමක පරිගණක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ඇති බවට දකුණු පළාත පුරා විශාල ප්‍රචාරයක් පැතිර යන්නට විය. මේ පිළිබඳව මුලින්ම ජාත්‍යන්තර මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා වෙත ඒ වන විටත් දැනුම් දී තිබුණි.

මෙම දැනුම් දීම සිදු කළ ජාත්‍යන්තර පළමු මිනිස් ජාවාරම්කරුවාට එක් පුද්ගලයකු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 7,000 ක මුදලක් හිමිවන අතර ඊළඟ ජාත්‍යන්තර ජාවාරම්කරුවාට අමෙරිකානු ඩොලර් 4,000 ක් සහ ඊළඟ ජාත්‍යන්තර ජාවාරම්කරුවාට අමෙරිකානු ඩොලර් 1,000 ක මුදලක් හිමිවීමට නියමිතය.

ඉන්පසුව මීළඟ අවස්ථාව ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම්කරුවන් වෙත හිමිවන අතර, තවදුරටත් අප්‍රකාශිත එම ජාවාරම්කරුවාට එක් පුද්ගලයකු විදේශගත කිරීමේදී රුපියල් ලක්ෂයක මුදලක් හිමිවන අතර, මෙවැනි ජාවාරම්කරුවන් කිහිප දෙනකු පසු කිරීමෙන් අනතුරුව, මෙම තරුණයන් ලාඕසය වෙත යොමු කළ හම්බන්තොට රැකියා නියෝජිතවරයා අවසාන පුරුක ලෙස මෙම ජාවාරමට සම්බන්ධව සිටියි.

ඔහු ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන ආයතනයක් සඳහා නාමයෝජනා ලබා දී ඇති බවට කරුණු සඳහන් වන අතර ඔහු මේ වන විට මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.
මෙම තරුණයන් පිරිස මීට මාස 04 කට පමණ පෙර ගුවන් මගින් ව්‍යාපාරික වීසා යටතේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී, කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ. එහිදි මුලින්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබඳව සිය අවධානය යොමු නොකළේ ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ බලපෑම නිසා විය හැකිය. ඊට අමතරව කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන පාලකවරයා මෙම තරුණයන්ගෙන් මේ විදේශ ගමන පිළිබඳව විමසා සිටිය යුතු වුවද ඔහු ද නිහඬව සිටියේ පෙර කී බලපෑමේ අනුහසින් ද යන්න අපට සැක සංකා මතු කරයි.

මෙම තරුණයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ සිට තායිලන්තයේ බැංකොක් නුවර වෙත රුගෙන ගොස් එතැන් සිට අභ්‍යන්තර ගුවන් යානා මගින් ලාඕසයේ චියන්මායි සහ චියන්රායි ගුවන් තොටුපළ වෙත ගෙන ගොස් බොකියෝ විශේෂිත ආර්ථික කලාපය වෙත ඇතුළු කරනු ලබයි. එහි ආරක්ෂාව සම්පූර්ණයෙන්ම චීනය විසින් සිදු කරනු ලබන අතර, කිසිවකුට අනවසරයෙන් ඇතුළු වීම හෝ පිටවීම සපුරා තහනම් වේ.

මෙම කලාපයේ පිහිටි සමාගමක් වෙත රුගෙන යන මෙම තරුණයන්, ඔවුන් සතුව තිබෙන ජංගම දුරකථන, මුදල්, විදේශ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු වටිනා ලියකියවිලි ඇතුළු සියල්ල තැරුව්කරුවන් භාරයට ගෙන ඇතැයි පැවසේ. ඉන්පසුව මෙම තරුණයන් වෙත රාජකාරි පැවරීම සිදු කර තිබේ. ඒ අනුව ඔවුන්ට සුහුරු ජංගම දුරකථන 08 ක් ලබා දී තිබේ. එයින් 05 ක් යොදාගෙන යුරෝපීය කාන්තාවන් සේ හැඟෙන පරිදි සමාජ මාධ්‍ය තුළ, ව්‍යාජ ගිණුම් ආරම්භ කරන ලෙස ඔවුන් දැනුවත් කර තිබේ.

මීට අමතරව තවත් එක් සුහුරු ජංගම දුරකථනයක් මෙම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මෙම සමාගමේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වීමටත්, ඉතිරි සුහුරු ජංගම දුරකථන දෙක ව්‍යාජ ආයෝජන හඳුන්වා දීමටත්, ව්‍යාජ ගිණුම් ඔස්සේ මුදල් ලබාගැනීම සිදු කිරීමටත් වශයෙන් වෙන් කර තිබේ. එම ගිණුම් ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය කළ යුතු අතර, ඒ සඳහා සුරෑපී කාන්තා පින්තූර භාවිත කරන ලෙස ද මෙම තරුණයන්ට දන්වා ඇතැයි කියයි.
මේ සඳහා ඔවුන්ට විශේෂ මෘදුකාංගයක් ලබා දී ඇති අතර, තවත් සති දෙකක් පමණ ගත වූ පසුව මෙම යුරෝපීය කාන්තාවන් සුපිරි තරු පන්තියේ ජීවිත ගත කරන බවට පෙන්වීම සඳහා ලෝකයේ සුපිරි හෝටල් තුළ රාත්‍රී ආහාර ගන්නා දර්ශන, ඔවුන්ට අයත් සුපිරි පෞද්ගලික ජෙට් ගුවන් යානා භාවිත කරමින් විවිධ රටවල සංචාරය කරන දර්ශන මෙම ගිණුම්වලට ඇතුළු කිරීමට උපදෙස් ලබා දී තිබේ.

මෙම ව්‍යාජ ගිණුම් අරඹා සති 05 ක් පමණ වන විට, එම ගිණුම් සමඟ ඒ වන විටත් සම්බන්ධතා ආරම්භ කර ඇති දහස් සංඛ්‍යාත පිරිස් වෙත තමන් සමඟ ආයෝජනයට අවස්ථා ඇති බවත්, ඒ සඳහා එම ආයෝජනයට ප්‍රතිලාභ වශයෙන් 30෴ ක් ලබා ගනිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකි බවත් මොවුන් ලවා යෝජනා කරවයි.

මේ සියලුම මෙහෙයුම් කටයුතු එක් සුහුරු ජංගම දුරකථනයක් මගින් එම සමාගමේ විශේෂ අධීක්ෂකයන් පිරිසක් විසින් නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් සිටිති. එයට ප්‍රතිචාර වශයෙන් බොහෝ පිරිස් සිය මුදල් මොවුන් නම් කරන බැංකු වෙත තැන්පත් කිරීමට පෙළඹී සිටිති. එම මුදල් තැන්පත් කරන සියලුම බැංකු ගිණුම් එම සමාගමේ ඉහළ නිලධාරිවරයකු වෙත ලබා දීම සිදු කළ යුතුය.

මෙසේ ගිණුම් විවෘත කර මුදල් තැන්පත් කර සති 10 ක් පමණ වන විට, එම ගිණුම්වල මුදල් ආයෝජනය කළ පිරිස් ඒ මුදල් පිළිබඳව විමසීමට පටන් ගන්නා අතර, ඒ වන විට එම ගිණුම් සියල්ල වසා අවලංගු කර දමන ලෙස මෙම සමාගමේ නිලධාරීන් මෙම තරුණයන්ට දන්වා තිබේ.

ඉන්පසුව යළිත් මේ ආකාරයට ව්‍යාජ ගිණුම් ආරම්භ කරමින් කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස මෙම තරුණයන්ට උපදෙස් ලැබෙන අතර, ඔවුහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. එහිදී ඔවුන් වෙත ලබා දී තිබූ ජංගම දුරකථන සියල්ල ආපසු ගන්නා මෙම සමාගමේ බලධාරීහු මෙම තරුණයන් පිරිස කාර්යාල අඩස්සියට පත් කිරීමට කටයුතු කර තිබේ.

ලාඕසය තුළ කිසිදු ජාත්‍යන්තර ගුවන් තොටුපළක් නොමැති වීම සහ එහි ශ්‍රී ලංකා තානාපති නිලධාරිවරයකු නොමැති වීම මෙම තත්ත්වය තවත් උත්සන්න කිරීමට හේතු වී තිබුණි. එනිසා ඔවුන්ට මෙම සමාගමෙන් හෝ මෙම විශේෂිත කලාපයෙන් පිටතට යාම කිසිසේත්ම කළ නොහැකි වන අතර, ඔවුන්ට දිනපතා ආහාර ලබා දීම පමණක් සිදු කර තිබේ.

මෙම උගුලෙන් ගැලවීම සඳහා මෙම තරුණයන් අතර සිටි කිහිප දෙනෙක් යළිත් තමන් පෙර ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බවට මෙම සමාගමේ උසස් නිලධාරීන්ට පවසාතිබේ. ඒ අනුව ඔවුන් වෙත ලබා දුන් සුහුරු ජංගම දුරකථන මගින් ගරු දූත සේවා නිලධාරී දමිත් අලුත්ගේ මහතා දැනුවත් කිරීමට පියවර ගන්නේ, මෙම තරුණයන් පරිගණක ක්ෂේත්‍රයේ ලබා ඇති හසල දැනුම භාවිත කරමිනි. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනය මැදිහත් කර ගැනීමට පියවර ගන්නා අතර මේ සඳහා ඔහුගේ ලාඕස ජාතික බිරිඳ අපමණ සහයක් ලබා දීම සිදු කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ “මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා මෙම සිද්ධිය දැනගැනීමෙන් අනතුරුව, දැඩිව සහ පුළුල් ලෙස මෙම සිදුවීමට මැදිහත් වීමට පටන් ගත්තේය.

එම ප්‍රයත්නයන් සියල්ල සාර්ථක කර ගනිමින් මෙම තරුණයන් පිරිස පසුගිය 24 වැනිදා දින උදෑසන 10.20 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රුගෙනවිත් තිබුණි.

මෙම සිද්ධිය හා සමානව මේ වන විට රුසියානු කර්මාන්තශාලාවක් තුළ ශ්‍රී ලාංකිකයන් 100 ක් රඳවාගෙන සිටින අතර මියන්මාරයේ තවත් ශ්‍රී ලාංකිකයන් 05 දෙනකු රඳවාගෙන සිටී. ඔවුන් කඩිනමින් එම ස්ථානවලින් යළි ශ්‍රී ලංකාවට රුගෙන ඒමට පියවර ගනිමින් සිටින බව “මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.

I කටුනායක ටී.කේ.ජී. කපිල