සරසවි සිසුවියනුත් ගණිකාවන් කල ලාබාල ස්පා මැඩම්

0

සරසවි සිසුවියන්ටත් මහ පාර උරුම කළ වයස 27 ස්පා මැඩම්ගේ කෙරුවාව

ලෝකයේ පැරණිතම වෘත්තියන්ගෙන් එකක් බව සැලකෙන ගණිකා වෘත්තිය අනාදිමත් කාලයක සිට පැවතෙන්නක් බව කීවත් එය වෘත්තියක් ලෙස කොතැනකින් කෙසේ පටන් ගත්තේදැයි නිශ්චිත ලෙස සටහනක් ඉතිහාසයේ සොයා ගන්නට නැති තරම්ය.

ගණිකාවන් සම්බන්ධයෙන් ඉතිහාසය යමෙක් හාර අවුස්සන්නේ නම් බුද්ධ කාලීන භාරතයේ පවා ගණිකාවන් සිටි බවට තොරතුරු බොහෝය. සාලවතී, විමලා, අම්බපාලි යන ගණිකාවෝ එකල ප්‍රසිද්ධ චරිතය. ඒ බව බෞද්ධ සාහිත්‍යයේ පවා සඳහන්ය.

ඒ හැරුණුකොට බැබිලොනියානු ශිෂ්ටාචාරයේ පවා ගණිකාවන් සිටි බව සඳහන්ය. ගිල්ගමේෂ් ඉෂ්වැර් නම් වූ ගණිකාවන්ට අධිපති දෙවඟනන් පවා එම යුගයේ සිටි බව ඒ ගැන තොරතුරු ගවේෂණයේදී පෙනී යන්නේය. ග්‍රීසියේ ගණිකා වෘත්තිය පැවතියේ යැයි කියැවෙන්නේ ක්‍රිස්තූ පූර්ව 06 වන සියවසටත් පෙර සිට බවය. රෝමය දෙස බැලීමේදී එහි ගණිකා වෘත්තියේ ඇරඹුම ඊටත් එහා අතීතයකට දිව යන්නෙකි. ගණිකා වෘත්තියට අධිපති දෙවියෙක් ද සිට ඇත. විකිපීඩියා නිදහස් විශ්ව කෝෂයට අනුව ඇය වීවස් දෙවඟනය.

මේ ආකාරයට නිමක් කොනක් නොමැති ඉතිහාසයක් ඇති ගණිකා වෘත්තිය ලෝකයේ බොහෝ රටවල් නීතියෙන් පිළිගත් වෘත්තියක් ලෙස සැලකුව ද, ඒ හා සමාන රටවල් රැසක් එය වෘත්තියක් ලෙස සලකන්නේ නැත. නමුත් ඒ සෑම රටකම පාහේ ගණිකා වෘත්තියට ඇත්තේ දිගු ඉතිහාසයකි. ශ්‍රී ලංකාවේ තත්ත්වයද එසේමය.

ගණිකා වෘත්තියේ මෙරට ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ අනාදිමත් කාලයක සිට මෙරට ගණිකා වෘත්තිය පවතින බවය. නමුත් ගණිකා වෘත්තියට නීතිමය පිළිගැනීමක් තවමත් නොලැබී ඇති බැවින්, එය හඳුන්වන්නේ ජාවාරමක් ලෙසිනි. ඒ යැයි කියා ශ්‍රී ලංකාවේ අපරාධ නීති සංග්‍රහයට අනුව ගණිකා වෘත්තිය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකා ඇති බවක් නම් පෙනෙන්නට නැත. අනාදිමත් කාලයක සිට විවිධ වෙස් ගෙන කෙරන ගණිකා ජාවාරමට නැවතීමේ තිත තැබී නැත්තේද ඒ නිසා විය හැකිය.

කාලෙන් කාලෙට විවිධ වෙස් ගෙන ක්‍රියාත්මක වන ගණිකා ජාවාරමේ දැන් අලුත්ම මුහුණුවර වී ඇත්තේ සම්බාහනයයි. සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් අද වන විට රටේ වැඩි හරියක්ම ඇත්තේ ගණිකා ජාවාරමේ තිප්පොළවල්ය. එම ගණිකා තිප්පොළවල් පවත්වා ගෙන යන්නේ ද ආයුර්වේද බෝඩ් ලෑල්ලට මුවා වෙමිනි. හතු පිපෙන්නාක් සේ අද වන විට ආයුර්වේද සම්බාහන නාමයෙන් රට පුරා බිහිවී ඇති ගණිකා ජාවාරම් මධ්‍යස්ථාන ගණන දහස් ගණනකි. ඒ නිසාම අද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන යන ගණිකා නිවාසයක් නොමැති ගමක් නගරයක් නැති තරම්ය. අනාවරණය වන ආකාරයට අනුව සම්බාහනය මුවාවෙන් පවත්වා ගෙන යන වැඩිම ගණිකා නිවාස ගණනාවක් ඇත්තේ නුගේගොඩ, ගල්කිස්ස, මීගමුව, ආශ්‍රිත ප්‍රදේශවලය.එහෙත් මේ අතරින් සම්බාහන බෝඩ් ලෑල්ලට මුවාවී පවත්වා ගෙන යන ගණිකා නිවාස වැටලෙන්නේ ද ගල්කිස්සෙනි. ඒ ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියගේ මෙහෙයාවීමෙනි. ඒ හැරුණු විට නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. එස්. ජයමහාත් මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරාත් සම්බාහනයට මුවා වී කෙරෙන ගණිකා ජාවාරම් මැඬලීමට නිරත වන්නේ දැඩි උත්සහයකි.

අද වන විට කොළඹ සිට ගාලු පාරේ කළුතර දක්වාත්, කොළඹ නුවර පාරේ කඩවත දක්වාත්, මීගමුව පාරේ කොළඹ සිට මීගමුව දක්වාත් අඩියෙන් අඩිය ඇත්තේ සමබාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන යන ගණිකා නිවාසය. ඒ අතර සැබෑ ලෙසම සම්බාහන සිදු කරන තැන් ද නැතුවා නොවේ. එහෙත් වැඩිපුරම ඇත්තේ ගණිකා නිවාසයන්ය. මේ හැරුණු කොට සම්බාහන මුවාවෙන් ගණිකා නිවාස රොත්තක්ම ඇත්තේ තලංගම පොලිස් වසම තුළය. තලංගම පොලිස් වසම තුළ ඇති සම්බාහන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස ගණන සියයකට වැඩිය. මේ නිසාම තලංගම පොලිස් වසමේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන වටලන්නේ පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසිනි. ඒ ඇතැම් වගකිව යුත්තෝ මේ තැන් දිහා ඇහැක් ඇර නොබලන පසුබිමක් හමුවේය. ඒ ඔවුන්ගේ සාක්කු මේ තැන්වලින් පිරෙන බැවිනි.

ඒ නිසාම වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට සම්බාහනය මුවාවෙන් පවත්වා ගෙන යන ගණිකා නිවාස ගැන ලැබෙන තොරතුරු බොහෝය. ඒ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් බලපෑම්වලට මෙන්ම අල්ලසට ද නතු නොවී නීතිය නිසි ලෙස ඉටු කරන බවට ගොඩනඟාගෙන ඇති කීර්ති නාමය හමුවේය. පාර්ලිමේන්තුව පෙනෙන නොපෙනෙන මානයේ පාලම්තුන හන්දිය ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක කාලයක් තිස්සේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන යන ගණිකා නිවාසයක් ගැන සුවිශේෂි පුද්ගලයකුගෙන් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ඔත්තුවක් ලැබෙන්නේ ද ඒ අනුවය. මෙම තොරතුර ගැන සිය විශේෂ අවධානය යොමු කරන ඉන්දික වීරසිංහ ඒ බව සිය උසස් නිලධාරියා වූ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාරව දැනුම්වත් කළේය.

පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බළකාය ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණය යටතේය. මෙම ඒකකය ස්ථාපිත වන්නේ ලකී කොඩිතුවක්කු මහතා පොලිස්පතිවරයාව සිටියදීය. ඒ පොලිස්පතියටතේ ක්‍රියාත්මක ඒකකයක් ලෙසිනි. පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණය යටතේ පැවතීම නිසාම මෙම බළකායට බලපෑම් කිරීම පවා කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැති තරම්ය. නිදහසේ දූෂණ මර්දන වැටලීම් කිරීමට මෙම බළකායට අවස්ථාවක් හිමිව ඇත්තේද එබැවිනි.

සම්බාහන බෝඩ් ලෑල්ලට මුවා වී පාලම් තුන හන්දිය ආසන්නයේ පවත්වාගෙන යන ගණිකා නිවාසය ගැන ලද තොරතුර ගැන ඉන්දික වීරසිංහ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර සමඟ බොහෝ අදහස් හුවමාරු කර ගත්තේය. ඒ යම් සැලසුමකට අනුව ඒ තැන වැටලීමටය. මෙකී සම්බාහන මධ්‍යස්ථානය වැටලීමට පෙර තොරතුරු රැස්කිරීමට නිලධාරීන් කිහිප දෙනකු යොමු කරනුයේ ඒ අනුවය.

අපේ රටේ මෙවැනි බොහෝ ගණිකා නිවාස ඇත්තේ පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය ආශ්‍රීතවය. ඒ පාසල් හා උසස් අධ්‍යාපනය ලබන සිසුන් ඊට අද්දවා ගැනීමටය. මේ තැන්වලට සිසුන් සහ නව යොවුන් වියේ පසුවන තරුණයින් අද්දවා ගැනීමට විවිධ උපක්‍රම පවා ඔවුන් යොදා ගනිති. ඒ වට්ටම් පවා ලබාදෙමිනි. ටියුෂන් පන්ති ගාස්තු මෙවැනි තැන්වලට පූජාකරන සිසුන් ද අපේ රටේ නැත්තේම නැති තරම්ය. පාලම් හන්දියේ තැන පාසල් සිසුන් අද්දවා ගැනීම වෙනුවෙන් ස්ථාපිත ගණිකා නිවාසයක් නොවූවත්, එතැනටද වැඩි හරියක් දෙනා එන්නේ තරුණයන්ය. පැයක කාලයකට කාන්තාවකගේ පහස මෙතැනදී ලැබෙන්නේ රුපියල් 7000ක් වැනි මුදලකටය. ඒ සඳහා අවශ්‍ය හැම පහසුකමක්ම එතැන ඇති බව තොරතුරු සොයා ගිය නිලධාරීන් දුටුවේය. තමන්ට කැමති කතක් තොරා ගැනීමට සූරූපී කතුන් හයහත්දෙනෙක්ම එතැන රැඳී සිටින බව ද එම නිලධාරීන්ට පෙනී ගියේය.

මේ සොයාගත් හැමදෙයක්ම තොරතුරු සොයා ගිය නිලධාරින් විසින් ස්ථානාධිපති ඉන්දික වීරසිංහව දැනුම්වත් කළේය. ඒ අනුව මේ තැන වැටලීමට තීරණය කෙරෙන්නේ සහකාර පොලිස් අධිකාරී උදය කුමාරගේ ද උපදෙස් ඇතිවය. ඒ සඳහා අවශ්‍ය අධිකරණ නියෝග පවා කල් ඇතිවම ලබාගැනීමට ඉන්දික වීරසිංහ වගබලා ගත්තේය. මෙතෙක් පොලිසියේ වැටලීමකට හසු නොවූ පාලම් තුන හන්දිය ආසන්නයේ ඇති ගණිකා නිවාසය වැටලීමට ඉන්දික වීරසිංහගේ මෙහෙයැවීම මත උප පොලිස් පරීක්ෂක සඳරුවන්ගේ නායකත්වයෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් යන්නේ එම අධිකරණ නියෝගයද අතැතිවය. උප පොලිස් පරීක්ෂක ජයවීර, සැරයන් බටුවත්ත (1445) කොස්තාපල්වරුන්වන බාලසූරිය(77080), ප්‍රබුද්ධ (77981),රෂ්මික (91305), හේමන්ත (100683), කුරුකුලසූරිය (104547), කේ.සුමරන් (105086), අබේරත්න (89631), කොස්තාපල්වරියන් වන සුසන්තිකා (10523) සහ දිල්හාරා (11352) නිලධාරීන් එම කණ්ඩායමට ඇතුලත්ව සිටියහ. පාණදුර වලානේ සිට බත්තරමුල්ල වෙත ගොස් මෙම කණ්ඩායම මඟ රැඳී සිටින විට සැරයන් බටුවත්ත පාලම් තුන හන්දියේ ඇති සම්බාහන මධ්‍යස්ථානය වෙත යන්නේ මෙම වැටලීමේ ප්‍රධාන භූමිකාව රඟ දක්වමිනි.

ආගන්තුකයෙක් ලෙස සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වන බටුවත්ත “ බොඩි මසාජ් එකක් දාගන්න ඕනේ“ යැයි එහි කළමනාකරුට කීවේය.

“බොඩි මසාජ් එකක් විතරක් ඇත්ද“ කළමනාකරු එසේ විමසුවේ මෙතැන ඊට එහා දේවල් ඇති බවට ඉඟි කරමිනි.

“ගාන කීයද?“ බටුවත්ත විමසුවේ ඒ ඉගිකිරීම වටහා ගත් බව කළමනාකරුට අඟවමිනි.

“හත්දාහයි.“ ඔහු කීවේය.

සැරයන් බටුවත්ත මෙතැනට ආවේම සටහන් තැබූ මුදල් නොට්ටු කිහිපයක් ද රැගෙනමය. එම මුදල් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ පොත්පත්වල ලියැවී ඇති නෝට්ටුය. සැරයන් බටුවත්ත තරුණ කාන්තාවක් වෙන්කර ගත්තේ ද එම නොට්ටුවලින් කිහිපයක් විසි කරමිනි. ආවේක්ෂණයේදී මෙහි තරුණියන් හය හත්දෙනක් සිටින බව පෙනී ගියත් සැරයන් බටුවත්ත කාන්තාවක් වෙන්කර ගන්නා විට සිටියේ තරුණ කාන්තාවන් දෙදෙනෙක් පමණි. ඒ අයගෙන් එක් තැනැත්තියක් තෝරා ගත් සැරයන් බටුවත්ත ඇයව කාමරයට රැගෙන යන අතර තුර කල්තියා සැලසුම් කළත් පරිදි මඟ රැක සිටි නිලධාරීන්ට පණිවුඩයක් යොමු කරනුයේ සිය ජංගම දුරකතනයෙනි.

එම පණිවුඩය ලද සැණින් උප පොලිස් පරීක්ෂක සඳරුවන් ප්‍රමුඛ පොලිස් කණ්ඩායම සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන යමින් තිබුණු පාලම් තුන හන්දියේ ගණිකා නිවාසය වටලන්නේ එහි සිටි කළමනාකරුටත් ගණිකා වෘත්තියේ නිරතව සිටි කතුන් දෙදෙනාටත් සිතා ගන්නටත් බැරි වන්නටය. ඒ එක් කතක් නිලධාරීන් හමුවේ හඬා වැටෙන්නට වූයේ ඇයව මුදාහරින ලෙසටය. කොළඹට කිට්ටුව පිහිටි ප්‍රසිද්ධ සුපිරි නිවාස සංකීර්ණයක නිවසක් හිමිව සිටි ඇය ඒ වන විට ගත කරමින් සිටියේ සුඛෝපභෝගී ජීවිතයකි. ඇය එම නිවස මිලදී ගෙන තිබුණේ බැංකු ණයක් මඟිනි. පුද්ගලික ආයතනයක සේවයේ නිරතව සිටි ඇය මෙම ගණිකා නිවාසයේ සේවය කරනු ලැබුවේ අර්ධකාලීන රැකියාවක් ලෙසිනි. ඇය විවාහ වීමට සූදානමින් සිටියේ හමුදාවේ ලොක්කෙක් සමඟිනි.

මෙවැනි කතා මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට අලුත් කතා නොවීය. ඒ මෙවැනි තැන්වල සිට හසුවන බොහෝ අයගේ කතා එකිනෙකට සමාන බැවිනි. මෙවැනි තැන්වල අද සිය සිරුරු විකුණා මුදල් රැස් කරනුයේ දුප්පත්කම හෝ නැතිබැරිකම නිසාම නොවේ. බොහෝ අය තවත් රැකියාවක් කරන අතරතුර වැඩිපුර මුදලක් රැස්කර ගැනීමට මෙවැනි රැකියාවල අර්ධකාලීනව නිරත වෙති. ඒ වාහනයක් මිලදී ගැනීමට, නිවෙසක් මිලදී ගැනීමට, ගෙයක් දොරක් මිලදී ගැනීමට වැනි අරමුණු වෙනුවෙනි. මේ තැන්වල ඉන්නා බොහෝ කතුන් මේ දේවල් වෙනුවෙන් සිය සිරුර විකුණන්නේ ද මේ හැමදෙයක්ම රැස්කරගෙන අවසානයේදී විවාහයක් කරගෙන සැපවත් ලෙස ජීවිතයක් ගත කිරීමේ අරමුණ ඇතිවය. ප්‍රසිද්ධ ආයතනවල විධායක නිලතල දරන කතුන්ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට හසු වී ඇති අවස්ථා ද නැතුවාම නොවේ. ඒ අය මේ තැන්වල සිය සිරුරු විකුණන්නේ සමාජ තත්ත්වය පෙන්වීමට වියදම් කිරීමට රැකියාවෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බැවිනි. ඒ හැරුණු කොට ඇතැම් තරුණියන් විධායක ශ්‍රේණිවල රැකියාවල නිරත වන්නන් ලෙස පෙනී සිටිමින් මේ තැන්වල සිය ඇඟ විකුණන අවස්ථාද බොහෝය.

මෙම වැටලීමට පෙර තලංගම පිහිටි මෙවැනිම ගණිකා නිවාසයක් මෑතකදී මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන්ගේ වැටලීමට හසුවන්නේ එහි රැඳී සිටි කතුන් 18ක්ද සමඟිනි. සමාජ ඛේදවාචකයක තරම වන්නේ එම කතුන්ගෙන් 14 දෙනෙක්ම උසස් අධ්‍යාපනය ලබන සිසුවියන් වීමය. ඒ අතර මෙරට ප්‍රධාන සරසවියක වෛද්‍ය පීඨයේ අධ්‍ය­ාපනය ලබන සිසුවියක්ද සිටියාය.

පාලම් තුන හන්දියේ ගණිකා නිවාසය හරහා සේවය සපයන කතුන්ගේ කතාවද මේ කථාවලට වඩා වැඩි වෙනසක් නැති තරම්ය. හඩා වැලපෙමින් එම කතුන් දෙදෙනා සිය අනන්‍යතාවය සඟවාගැනීමට වැටලීම කළ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් හමුවේ ආයාචනා කරමින් සිටින අතරතුර මෙතැනට එන්නේ සුරූපී කතකි. සුඛෝපභෝගී මෝටර් රථයක නැඟී ආ ඇය ඉහළ මහලේ වූ ගණිකා නිවාසය වෙත එන විට වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන් සිතුවේ ඇයත් මෙහි සේවය කරන කතක් විය හැකි බවය. එය එසේ නොවන බවත් ඇය මෙහි හිමිකාරිනිය බවත් පෙනී යන්නේ “ මැඩම් “ යැයි ඇය දුටු විට අත්අඩංගුවේ සිටි කතුන් දෙදෙනා සහ කළමනාකරු පවසන්නට වූ බැවිනි.

ඒ අනුව මේ කියන මැඩම්ව ද මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන් සිය භාරයට ගත්තේය. ඇය එසේ මෙසේ තැනැත්තියක් නොවූවාය. සමාජයේ බලවතුන් රැසක්ම හොඳින් දැන හඳුනන තැනැත්තියක් වූවාය. පාලම් තුන ආසන්නයේ පමණක් නොව, තවත් මෙවැනිම ගණිකා නිවාස හතරක්ම බත්තරමුල්ල හා තලංගම පැත්තේ ඇය පවත්වා ගෙන ගියාය. ඒ එක ගණිකා නිවාසයකටවත් පොලිසිය අත තබා ඇති බවක් නම් දැන ගන්නට නැත. ඒ ඇයට ඇති යම් බලයක් නිසාද? එසේත් නැතිනම් රුපියල් ශත වලට වහල් වී ඇස්කන් පියාගෙන පොලිසිය සිටින නිසාද? යන්න පිළිබදව ඇත්තේ සැබවින්ම ගැටලුවකි.

සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා මඩම් හතරක්ම පවත්වා ගෙන යන මේ කියන මැඩම් තවමත් පසුවන්නේ විසිහත් හැවිරිදි වියේය. ඇගේ ගම් පළාත ලෙස සැලකෙන්නේ ඇල්ලය. ඇය ඇල්ලේ සිට කොළඹට එන්නේ අවුරුදු 17 දීය. ඒ පුවත්පත් දැන්වීමකට අනුව සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් ලෙස සේවයේ නිරතවන්නටය. අවුරුදු 11 කට පෙර අතේ සතේ නැතිව තෙරපිවරියක් ලෙස කොළඹ සම්බාහන මධ්‍යස්ථානයක සේවයකරන්නට ආ ඇය අද කෝටිපතිනියකි.

මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරින් ඇගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නට වූ තොරතුරුවලට අනුව ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ තැනැත්තියක් වූවාය. ඇය බදුල්ලේ රූපලාවණ්‍යාගාරයක සේවයට යන්නේ උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබමින් සිටියදීය. තෙරපිවරියක් ලෙස තරුණියන් පුහුණු කර බඳවා ගන්නා බවට වූ පුවත්පත් දැන්වීමක් ඇගේ නෙත ගැටෙන්නේ රූපලාවණ්‍යාගාරයේ සේවයේ නිරතව සිටියදීය. රූපලාවණ්‍ය ගැන පුහුණු වෙමින් එහි සේවයේ නිරතව සිටි ඇයගේ හිත එම දැන්වීමට ඇදී යන්නේ ලක්ෂයකට එහා වැටුපක් තෙරපිවරියක් ලෙස පුහුණුව ලබන කාලය තුළ ලැබෙන බව එහි සඳහන්ව තිබුණු බැවිනි. ඇය දෙවරක් ඒ ගැන සිතුවේ නැත. ඇය තෙරපිවරියක් ලෙස රැකියාවක නිරත වන්නට කොළඹට ආවාය. අවසානයේදී ඇයට සිදුවන්නේ තෙරපිවරියක් ලෙස සේවය කරන්නට නොව, ගණිකාවක් බවට පත්වන්නටය. ‍අද ඇය රාජගිරිය පැත්තේ සුවිසල් නිවසක ජීවත්වන්නේ ඇය ගණිකාවක් බවට එදා පත්කළ තැනැත්තා සමඟිනි. අද ඔහු පත්ව සිටින්නේ ඇගේ සේවකයෙක් බවටය.

තෙරපිවරියක් වන්නට සිතාගෙන අවුරුදු 17 දී කොළඹට පය තබා ගණිකාවක් බවට පත්වූ ඇය අද වන විට සම්බාහන මධ්‍යස්ථාන හතරක හිමිකාරියක් බවට පත්ව සිටින්නේ ද ඇය වැටුණු වලේ තවත් අහිංසක තරුණියන් වට්ටවමිනි. ඒ සඳහා ඇය ද වැඩි වශයෙන් යොදා ගන්නේ ආකර්ෂණීය පුවත්පත් දැන්වීම්ය. ඊට වැඩි වශයෙන් ගොදුරු වන්නේ තරුණ යුවතියන්ය. ඒ අතර පෞද්ගලික අධ්‍යාපන ආයතනවල මෙන්ම සරසවිවල උසස් අධ්‍යාපනය හදාරන සිසුවියන්ද නැත්තේම නැත. ඇය මේ හැමදෙයක්ම කරන්නේ තලංගම පැත්තේ රූපලාවණ්‍යාගාරයක් ද පවත්වා ගෙන යමිනි. ඇගේ සෑම ජරා වැඩක්ම සිදු වන්නේ එම රූපලාවණ්‍යාගාරය මුල්කරගෙනය. සමාජය හමුවේ පවා ඇය පෙනී සිටින්නේ ද රූපලාවණ්‍යාගාරයක හිමිකාරියක් ලෙසිනි. එහෙත් ඇයව ඇය නියෝජනය කරන සමාජය හමුවේ කුප්‍රකට වී සිටින්නේ ස්පා මැඩම් යැයි කියාය. පොලිසියට හසු වූයේ යැයි කියා ස්පා මැඩම්ගේ ස්පා එකක්වත් තාමත් වැසී ගොස් නැත. ඒ නීතියේ ඇති හිඩැස් මෙවැනි තැන් පවත්වාගෙන යන අයට ආශිර්වාදයක් වී ඇති බැවිනි.