මෙහෙකාරිය බැංකු නිලදාරියාගේ මිලියන 5 ක් සුද්ද කරයි

0

අසනීපව රෝහල් ගතවූ විශ්‍රාමික බැංකු නිලධාරියාගේ ATM කාඩ්පතින් රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් වරින් වර හොර රහසින් ලබාගත් මෙහෙකාරිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත් වූවන් අතර මෙහෙකාරියගේ දියණිය සහ බෑණා ද වන බව පොලිසිය සඳහන් කළේය.

තමන් අසනීපව රෝහල්ගතව සිටින අවස්ථාවේදී ඇති වූ මුදල් අවශ්‍යතාවය මත වසර 11ක කාලයක් සිය නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාවට තමන්ගේ ATM කාඩ්පත සහ එහි රහස් අංකය ලබා දී තම අසනීපයට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා මුදල් වියදම් කරන ලෙස විශ්‍රාමික බැංකු නිලධාරියා පවසා තිබේ.

පසුව මෙහෙකාරිය විසින් රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් වරින්වර ලබාගෙන ඇති බව ප්‍රතිකාර ලබා නිවසට පැමිණි පසු විශ්‍රාමික බැංකු නිලධාරියාට දැනගැනීමට ලැබුණු බව අදාළ පැමිණිල්ලේ සඳහන්ය.

තමන්ගේ බැංකු පොතේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් තිබුණු බවත් දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදී ඉතිරි මුදල් බැංකු ගත කර තිබූ බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

අදාළ පැමිණිල්ල අනුව විමර්ශන පැවැත්වීමේ දී සැකකාරිය මාස 6ක පමණ කාලයක සිට බැංකු නිලධාරියාගේ ATM කාඩ්පතින් මුදල් ලබාගන්නා අයුරු CCTV කැමරාවක සටහන්ව ඇතැයි පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් මෙහෙකාරිය ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම ATM කාඩ්පත තම දියණිය සහ බෑනා අතට ද පත් කළ බවත් ඔවුන් විසින් රන් ආභරණ මිලදී ගැනීම මෙන්ම නිවසක් කුලියට ගැනීමට එමගින් ලබාගත් මුදල් යෙදවූ බවත් පවසා ඇත.

එමෙන්ම මවගේ නිවස අලුත් වැඩියා කිරීමට සහ විනෝද සවාරි යෑමට, ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහාත් මුදල් ලබාගත් බව මෙහෙකාරියගේ දියණියගෙන් හා බෑණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරු මොරටුව එගොඩ උයන මෝදර පදිංචිකරුවන් ය.