Home LOCAL බූරු මූණා සියල්ල වමාරයි

බූරු මූණා සියල්ල වමාරයි

0

පොලිස් අත්අඩංගුවෙන් පළා ගොස් සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බුරු මුණා”  නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පාපොච්චාරණයක් සිදුකර තිබේ.

ඔහුගේ පාපොච්චාරණය අනුව හංවැල්ල දස වේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි ෆෝ වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 662ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

ඉකුත්  සිකුරාදා “බුරු මුණා”  නීතිඥවරයකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අවිස්සාවේල්ල මානියම්ගම ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලීසිය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ලබා දුන් අවසර නියෝගයක් අනුව සැකකරුගෙන් පැය 72ක කාලයක් අද දක්වා ප්‍රශ්න කෙරුණි.

“බුරු මුණා” නමැත්තා සිදුකළ ඝාතන සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, රත්ගම, ඇල්පිටිය, හික්කඩුව, කටුනායක, ඌරගහ හා මීගමුව කොට්ඨාස අපරාධ අංශය ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඝාතන නවයක චෝදනා “බුරු මුණා” ට එල්ල වී ඇතත් තමන් සිදුකළේ ඝාතන දෙකක් බව “බුරු මුණා” හඬා වැටෙමින් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්ගම විදුර නමැත්තාගේ ගෝලය ලෙස කටයුතු කළ “බුරු මුණා” නමැත්තාට විදේශගතවීමට අවශ්‍ය ව්‍යාජ හැඳුනුම්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් සාදා දෙන ලද බව පවසා ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්නංගරගේ ලලිත් කන්නන්ගර නමැත්තා බුරු මුණාව පරකඩුවට ගෙන්වාගෙන  හංවැල්ල ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තමන්ගේ ගෝලයන්ට හිරිහැර කරන ආපන ශාලා හිමිකරු සම්බන්ධයෙන් “බුරු මුණා” ට ඩුබායි හි සිටින ලලිත් නැමැත්තා දුරකථන ඇමතුමක් ලබාදී කෙසේ හෝ ඔහු ඝාතනය කරන ලෙස ඉල්ලා ඇතැයි සැකකරුගෙන් අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී  “බුරු මුණා” නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සොයාගත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය හංවැල්ලේ ආපනශාලාවක් තුළදී ඝාතනයට ලක්වූ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවසට, ආපන ශාලාවට සහ සහෝදරයා ගේ ආපනශාලාව පුපුරුවා හැරීම සඳහා රැගෙන ආ ඒවා බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි.

අවස්ථා කිහිපයකදී හංවැල්ලේ ආපනශාලා හිමිකරු ඝාතනය කිරීම සඳහා ගියත් අවස්ථාවක් නොවූ හෙයින් ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කන්නන්ගර ගේ ලලිත් කන්නන්ගර නැමැත්තා “බුරු මුණා” වෙත එම පුපුරණ පුද්ගලයකු මාර්ගයෙන් එවා තිබූ බවට සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

ඒ සඳහා ඩෙටනේටර් තුනක්ද රැගෙනවිත් තිබූ අතර පොලිස් වෙඩි පහරින් මිය ගිය හංවැල්ල ඝාතනයේ යතුරුපැදිය පැදවූ කරකරවිට   සීයා නැමැත්තා හැඳ සිටි කබාය තුළ ඒවා බහා තිබූ බවත් ඝාතනයෙන් අනතුරුව කබාය සහ ආරක්ෂක හිස් වැස්ම විසිකර දැමූ බවත් සැකකරුගෙන් අනාවරණ වූ බව පොලිසිය කියයි.

ආපනශාලා හිමිකරු ඝාතනය කිරීමෙන් අනතුරුව ඩුබායිහි සැඟව සිටින ලලිත් නමැත්තා ගේ උපදෙස් මත එම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය හංවැල්ල දසවේල්ල පාර දුරකථන කණුවක් යට තැබූ බවට “බුරු මුණා”ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව එම පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

කටුනායක ගුවන්තොටුපොළ පොලීසියේ අත්අඩංගුවෙන් පළායෑමෙන් අනතුරුව සැකකාර “බුරු මුණා” නැමැත්තා රත්ගම විදුර, හංවැල්ල ලලිත් කන්නන්ගර, ඩුබායිහි සැඟව සිටින ඩිලාන්, වත්තල වර්ණ ආදී අපරාධකරුවන් විසින් මීගමුව දඹුල්ල මරදන්කඩවල, කරවනැල්ල ආදී ප්‍රදේශවල රැකවරණය ලබාදී ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

සැකකරු පොලිස් අත්අඩංගුවෙන් පළා යාමෙන් ඉන් අනතුරුව හා හංවැල්ල ඝාතන සිද්ධියෙන් අනතුරුව නවාතැන් ගෙන සිටි ස්ථාන සම්බන්ධයෙන්  විමර්ශන සිදුකරන බව පොලීසිය පැවසීය.