චීන අනුමැතිය නොමැති ව වුවද ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකම ලබාදීමට IMF සැරසෙයි?

0
IMF Debt Restructuring - චීන අනුමැතිය නොමැති ව වුවද ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකම ලබාදීමට IMF සැරසෙයි?

ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකයක් නොමැතිව වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීරණ ණය අනුමත කිරීම සලකා බලමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමීප ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ චීනය විසින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව සහතිකයක් ලබා දීම දිගින් දිගටම කල් දමන පසුබිමක් යටතේයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම ප්‍රතිපාදනය දැඩි මූල්‍ය අවශ්‍යතාවයක් ඇති රටකට ණයහිමියා විසින් තෙවැනි පාර්ශවයක් සිදුකරන ආධාර අවහිර කිරීම වැලැක්වීම ඉලක්ක කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා කියා සිටියේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම සඳහා භාවිතා කළ හැකි නිශ්චිත ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට මෙය අවස්ථාව නොවන බවත්, කෙසේ වෙතත් මූල්‍ය අරමුදල ණයක් ලබා ගැනීම සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම සලකා බැලීමට අරමුදලේ විධායක මණ්ඩලයට හැකි වන පරිදි ශ්‍රී ලංකා බලධාරීන් අදාල මූල්‍ය සහතික කිරීම් අඛන්ඩව කරගෙන යන බවත්ය.

එමෙන්ම මේ සම්බන්ධව ඉදිරි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ද කටයුතු කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අඛණ්ඩව කටයුතු කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ ඇති පැහැදිලි කිරීමකට අනුව, යම් රටකට කඩිනම් මූල්‍ය ආධාර අත්‍යවශ්‍ය යැයි සලකන්නේ නම් සහ එම රට සුදුසු ප්‍රතිපත්ති අනුගමනය කරමින් ණයහිමියන් සමඟ එකඟතාවකට පැමිණීමට සද්භාවයෙන් උත්සාහ දරන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිල හිඟ මුදල් සඳහා ණය දීමේ ප්‍රතිපත්තිය භාවිතා කළ හැකියි.

ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකම අනුමත කිරීම රඳා පවතින්නේ, එම සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් සහතිකයක් ලබා ගත හැකිද යන පදනම මත වූව ද මෙවන් තත්ත්වයක් යටතේ විස්තීරණ ණය අනුමැතිය සඳහා එම ස්ථාවරයන් හි වෙනසක් සිදු කළ හැකි බව ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියා.

දිළිඳු රටවල බර ලිහිල් කිරීමට G-20 රටවල් සහ අනෙකුත් රටවල් සලකා බලමින් සිටින විකල්පයන් අතර ණය දිගු කිරීම් qa ඇතුළත් බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කිරීමත් සමඟ මෙම වර්ධනය සිදු වී තිබෙනවා.

ලබන සතියේ බැංගලෝරයේ පැවැත්වෙන මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, G-20 කණ්ඩායම සහ ඉන්දියාව වෙන වෙනම ගෝලීය ස්වෛරී නය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

විදුලි ගාස්තු වැඩි කිරීම, ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද අනෙකුත් ප්‍රතිසංස්කරණ කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව උත්සාහ දරමින් සිටින්නේ මෙවන් සංකීර්ණ වටපිටාවක් යටතේයි.

ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයවලින් 52%ක පමණ කොටසක් දරන්නේ චීනය විසින්.