අද සිට විදුලි කප්පාදුව සිදු නොකරන බව ඇමති කංචන විජේසේකර කියයි

0
No Power Cut Further - අද සිට විදුලි කප්පාදුව සිදු නොකරන බව ඇමති කංචන විජේසේකර කියයි

අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවය.

විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන් අමතර රු බිලියන 22ක ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

“අපි ජනවාරි මාසයේ ලබාදුන්න යෝජනාව ජනවාරි මාසයේ ක්‍රියාත්මක වුණා නම් අපිට තවත් පහසුවෙනවා. කෙසේ හෝ ප්‍රමාදයකින් හෝ ලැබීම තුළ මම හිතනවා අද දවසේ ඉඳලා අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරන්න පුළුවන්. ඒ වගේම අපිට අද ඉඳලා ගල් අඟුරු, ඉන්ධන, නැප්තා ආනයනය කිරීම සඳහාත් අවශ්‍ය පහසුකම් බැංකු තුළින් ලැබීම සිදුවෙනවා.

වැරදි මතයක් සමාජ ගත කරන්න උත්සාහ කළා පුද්ගලයින් කිහිපදෙනෙක්. මේ ගාස්තු සංශෝධනය කරන්නේ විදුලිබල මණ්ඩලයේ පැරණි අලාභ පියවා ගැනීම සඳහා කියලා. ඒක කිසිසේත්ම වෙන්නේ නෑ. මොකද විදුලිබල මණ්ඩලයේ තිබෙන අලාභ පියවා ගැනීමට නෙමෙයි මේ ගාස්තු සංශෝධනය සිදුකරලා තියෙන්නේ. මේ අලුත් අය ක්‍රමය යෝජනා කරලා තියෙන්නේ අද ඉඳලා විදුලිය උත්පාදනය කරන්න යන වියදම ආවරණය කර ගැනීමට පමණයි.

මේ අය ක්‍රමය ලබාගන්න ප්‍රධානම හේතුව තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒ පහසුකම ලබාගැනීමේ දී අපිට තිබුණ එක කොන්දේසියක් තිබුණා මහා භාණ්ඩාගාරයෙන් හෝ මහ බැංකුවේ මුදල් තවදුරත් ජනවාරි මස 1 වැනිදා ඉඳලා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි රාජ්‍ය ආයතනවලට ලබාදීමට නොහැකියි කියලා. පසුගිය වසරවල අපි විදුලි බලය ලබාදීමේ දී ගාස්තුවට සරිලන අය ක්‍රමයක් නොතිබුණත් විවිධ රජයන් යටතේ මහා භාණ්ඩාගාරයෙන් තමා ඒ පරතරය පියවූවේ. ඒවා කරන්න පුළුවන් වෙන්නේ එකතු කරන බදු මුදල්වලින්. එතකොට අපි ජනවාරි 1 වැනිදා ඉඳලා එකඟතාවය පළකර තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලබාගැනීමට නම් අපි අපේ කිසිම රාජ්‍ය ආයතනයකට අමතර මුදල් ආයෝජනය කළ නොහැකියි, ලබාදිය නොහැකියි කියන එක. ඒ අනුව විදුලිබල මණ්ඩලයට කිසිම මුදලක් භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නේ නෑ.

මම විශ්වාස කරන්නේ නෑ තව විදුලිබිල වැඩිවීමක් ඉදිරියේදී සිදුකිරීමට සිදුවෙයි කියලා. මේ අය ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් අඛණ්ඩව විදුලි සැපයුම සිදුකිරීමත් අපේ රජය බලාපොරොත්තු වෙන්නේ ඊළඟ සංශෝධන තුළින් ඒ බර අඩුකරමින් ජනතාවට මේ විදුලිබිල තව අඩුවෙන් ලබාදෙන්න පුළුවන් ක්‍රමවේදයක් දක්වා යෑම සඳහාය.

ජනාධිපතිවරයා තවත් උපදෙසක් දුන්නා අඛණ්ඩ විදුලි සැපයුම පමණක් නෙමෙයි. මේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගෙන සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ඒ අනුව මුදල් අමාත්‍යංශයත් අපේ අමාත්‍යාංශයත් ඒකාබද්ධව ඉදිරියේ දී අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය පාවිච්චි කරන ජනතාව වෙනුවෙන් අපි ව්‍යාපෘතියක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එය කඩිනමින් කරන්න බැරිවෙයි. යම් කාලයක් අපිට යයි. ඒ වගේම ජනාධිපතිවරයා උපදෙස් දුන්නා රජය පවත්වාගෙන යන අධ්‍යාපන ආයතන සහ සියලුම ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගෙන ඉන්දීය ඩොලර් මිලියන 100ක ණය ක්‍රමය යටතේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. අපි ඒක ඉදිරි මාස 3 තුළ ක්‍රියාත්මක කරනවා.”