විදුලි ගාස්තු සියයට 66කින් ඉහළට

0
Electricity Bill - විදුලි ගාස්තු සියයට 66කින් වෙනස් වේ

විදුලි ගාස්තු සියයට 66 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව විදුලි ගාස්තු වැඩිවීම ඊයේ (15) සිට ක්‍රියාත්මක වන බව ද මණ්ඩලය සඳහන් කරයි.

විදුලි ගාස්තු සියයට 66 කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු පෙරේදා (14) අනුමැතිය දී ඇත.

මෙම යෝජනාවට කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර සෙසු සාමාජිකයන් තිදෙනකු ඒ සඳහා එකඟතාව පළකිරීම හේතුවෙන් එම යෝජනාව බහුතර එකඟතාව මත සම්මත වී ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තු සියයට 66 කින් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය අනුමත කර තිබූ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා එම යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමුකර තිබුණ ද, එය අනුමත කිරීම මහජන උපයෝගිතා කොමිසම දිගින් දිගටම ප්‍රමාද කළ බවට චෝදනා එල්ල විය.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසුවේ මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් තිදෙනකු විදුලි පනතට හා මහජන උපයෝගිතා කොමිසමට පටහැනිව, දේශපාලන අධිකාරියේ බලපෑම මත විදුලි බිල සංශෝධනයට අනුමැතිය දී ඇති බවය.

කොමිසමේ සභාපතිවරයා වන තමාගේ අවසරය නොමැතිව රැස්වී දේශපාලන අධිකාරියේ බලපෑම මත, මහජනයා වෙත විශාල බරක් පටවා ඇති බව ද ඔහු සඳහන් කළේය.