ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට දැනුම්දීමක්

0
Voting Papers for Local Government Election - ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට දැනුම්දීමක්

නියමිත මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට, රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (13) පස්වරුවේ ලිඛිතව දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනියගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මූලික මුද්‍රණ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් රජයේ මුද්‍රණාලයට රුපියල් කෝටි හතරක් දැනටමත් ලබා දී ඇති බවයි.

මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාව ද රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් රජයේ මුද්‍රණාලයට ලබා දී ඇතැයි ඔහු සඳහන් කළේය.

සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලයට මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා දෙන්නේ මුදල් ප්‍රතිපාදනයක් බවත් එම ප්‍රතිපාදනය පසුව මුද්‍රණාල ප්‍රධානීන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් කරගන්නා බවත් එම නිලධාරියා පැවසුවේය.

සෑම මැතිවරණයකදීම සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලයට මුදල් ලබා දුන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයෙන් පසුව බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයේ සේවක සංගම් අතරද කිසියම් කඹ ඇදීමක් පවතින බව වාර්තා වේ.

ඇතැම් සංගම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ යුතුයැයි පවසන අතර අනෙක් ඒවා පවසන්නේ මුදල් දෙන තුරු මුද්‍රණය නොකළ යුතු බවයි.