වඩිවේල් සුරේෂ් සමගි ජන බලවේගයේ තනතුරු වලින් ඉල්ලා අස්වෙයි

0
Vadivel Suresh - වඩිවේල් සුරේෂ් සමගි ජන බලවේගයේ තනතුරු වලින් ඉල්ලා අස්වෙයි

පක්ෂ නායකත්වයේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් තමන් පක්ෂයෙන් ඉවත් වන බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි.

මේ පිළිබඳව සිදුකළ විමසීමක දී වඩිවෙල් සුරේස් කියා සිටියේ ඊයේ (9) මඩුල්සිම පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගී වන බවට කලින් ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෞඛ්‍ය හේතූන් මත ඊට සහභාගී විය නොහැකි බව පසුව දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැලිමඩ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගී වී තිබෙනවා.

මේ තත්ත්වය මත විපක්ෂ නායකවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි ජනතාව කලකිරීමට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

එබැවින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අතෘප්තිමත් වීම හේතුවෙන් තමන් සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් සහ පස්සර ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරවලින් තමන් ඉවත් වන බව වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා පැවසුවා.