ගල්අඟුරු මිලදී ගැනීම අර්බුදයක

0
Norochcholai Coal Power Plant - ගල්අඟුරු මිලදී ගැනීම අර්බුදයක

ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට නොහැකිවුවහොත් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම අර්බුදයක් විය හැකි බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ඉදිරි සතිය වෙනුවෙන් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මහ බැංකුවෙන් ලබාගැනීම සඳහා රුපියල් බිලියන 15.3ක මුදලක් කඩිනමින් සපයාගත යුතු බවය.

ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශෙහාන් සුමනසේකර මහතා,

“සාමාන්‍යයෙන් මෙම ඇනවුම් කරන්නේ යම්කිසි මුදල් ගෙවීමේ එකඟතාවයකට ඇවිල්ලා. එම එකඟතාවය තමයි නැව්ගත කිරීමේ දී 30%ක් ගෙවීම් කටයුතු කරනවා. ගොඩ බෑමේදී ඉදිරි 70% මුදල් ගෙවීම කරනවා. ජනවාරි 30 වනදා සිට පෙබරවාරි 3 වනදා දක්වා නැව් 3ක් වෙනුවෙන් ගෙවීම් කටයුතු කරන්න ඕනේ වුණා.”

“රුපියල් බිලියන 1.35 ක මුදලක් 30% ක ගෙවීමක් අපි කළා එක නැවකට. හැබැයි අපිට තව නැව් දෙකකට ගෙවීමට තිබුණා. එම ගාස්තු දෙක නියමව තිබුණේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේ ගිය සුමානේ. නමුත් අපිට මේ වනවිටත් ඒක ගෙවන්න වුණේ නෑ. මොකද ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම මුදල් අවශ්‍යතාවය සැපරීමට අපොහොසත් වුණ නිසා.”

“අපිට ඉතාමත් සංකීර්ණ සහ ව්‍යාකූල තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා ඉදිරි සුමානයේ දී. පෙබරවාරි 4 සිට පෙබරවාරි 10 වනදා දක්වා රුපියල් බිලියන 10.74ක අවශ්‍යතාවයක් තිබෙනවා. ලබන සුමානෙට ඉදිරි ඇනවුම් සඳහා මුදල් ලෑස්ති කිරීමට. නමුත් පසුගිය සුමානේ ගෙවන්න බැරි වුණ 30% මුදල හා 70% මුදල ඉදිරි සුමානේ මුදලට එකතු වෙනවා.”

“අපිට ක්ෂණික විසඳුම් ගැනීමට අවශ්‍යයි. මොකද ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටික නැති වෙන්න පුළුවන්.”

ගල්අඟුරු නැව් 03ක් සඳහා ගෙවීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 12.32 ක් හෙවත් රුපියල් බිලියන 4.56ක ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඉල්ලමින් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ලිපියක් ද යොමුකර තිබේ.