මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිට කරුණු 14කින් යුක්ත චෝදනා පත්‍රයක්

0
Janaka Rathnayaka - මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිට කරුණු 14කින් යුක්ත චෝදනා පත්‍රයක්

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකට එරෙහිව කරුණු දහහතරකින් යුක්ත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සූදානම් වෙයි.

එම චෝදනා පත්‍රය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට පසුගිය සිකුරාදා (03 වැනිදා) යොමු කර තිබුණි.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව චෝදනා පත්‍රය නීතියට අනුව සකස් කර ලබාදීමෙන් පසු විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර එය ලබන අටවැනිදායින් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට අයත් යැයි සැලකෙන ආයතනයක් මගින් විදුලිය තොග වශයෙන් ලබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරිමේ බලපත්‍රයක් ලබාගැනිම ඇතුළු චෝදනා දාහතරක් ඊට ඇතුළත් කර තිබේ.

සභාපතිවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන බව ඇමැති කංචන විජේසේකර පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. චෝදනා පත්‍රය ලැබෙන තුරු බලා සිටින බව සභාපතිවරයාද ප්‍රකාශ කළ අතර ඔහුගේ ක්‍රියාකලාපය ජනාධිපතිවරයාද පර්ලිමේන්තුවේ දී වී වේචනයට ලක් කළේය.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහද එම තනතුරුවලින් පසුගිය සිකුරාදා (03 වැනිදා) ඉල්ලා අස් වූහ. සිය ඉල්ලා අස්වීමේ ලිපි මුදල් ඇමැතිවරයා වෙත යොමු කර තිබුණි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව සාමාජිකයින් පස් දෙනකුගෙන් යුත් ආයතනයකි.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට අයත් යැයි සැලකෙන ​හෝටල් සංකීර්ණයක විදුලි බිල්පත් නොගෙවීමද තවත් චෝදනාවකි.

ඒ අනුව ගෙවිය යුතු සම්පූර්ණ විදුලි බිල රුපියල් 14,76,651කි.

සභාපතිවරයා මෙම මුදලද නොගෙවමින් එම මුදල අඩුකර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡාවක්ද පවත්වා තිබේ.