13 කිසිසේත් බලාත්මක නොකරන ලෙස මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

0
President Ranil Wickramasinghe - 13 කිසිසේත් බලාත්මක නොකරන ලෙස මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

රටේ ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන  13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (02) බාර දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) මල්වතු අස්ගිරි මහ විහාර වලට ගොස් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාවේ උන්වහන්සේලා මෙම ලිපිය ජනාධිපතිවරයාට ලබා දී තිබේ.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල, අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල ශ්‍රී චන්ද්‍රසිරි යන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට විධායකය ලෙස ඔබතුමා කටයුතු කරණ කරන බවට සිදුකළ ප්‍රකාශය රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇත . ඉඩම් හා පොලිස් බලතල, පෞරාණික ඓතිහාසික ස්මාරක වාර්තා හා ආගමික සමිති නියාමනය, ඇතුළු බලතල ක්‍රියාත්මක කිරීමට පළාත් සභා වෙත බලය ලබාදීම රට තුළ බෙදුම්වාදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නකි.

මීට පෙරද ධුර දරු විධායක ජනාධිපතිවරුන් විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැළකී සිටියේ රට තුළ ඇති විය හැකි ව්‍යාකූලත්වයන් හා එහි අනර්ථකාරී බව අවබෝධ කරගත් නිසා බව ඔබ තුමන් ද මනාව දන්නා කරුණකි . ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින විධායක ජනාධිපතිවරයා මධ්‍යම රජයේ ස්වාධීපත්‍ය බිඳ වැටීමට හේතුවන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම දැඩි මහජන අප්‍රසාදයට ද හේතු වේ.

රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන් ගේ සහයෝගය ලබාගැනීම උදෙසා යම් කොන්දේසි සඳහා එකඟ වීමට බලපෑම් එල්ල වුවද රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වාධිපත්‍ය අනතුරේ හෙළන මෙවැනි යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ යුතු බව මහා සංඝරත්නය ලෙස අපි අවධාරණය කර සිටිමු . නිදහසෙන් 75 වන අභිමානවත් සංවත්සරය සමරන අපි ශ්‍රී ලාංකිකයන් ලෙස ජාති ආගම් භේදයකින් තොරව රටේ සුරක්ෂා වත් සමෘද්ධියත් උදෙසා කැප වූ ආකාරය පෙන්වා දෙන සාක්ෂි අප ඉතිහාසය තුළ බොහෝ ය.

දශක තුනකට අධික කාලයක් මෙරටෙහි අපි දැඩි අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දී ඇත්තෙමු . එහි සෘජු බලපෑමට ලක් වූ උතුරු- නැගෙනහිර පළාත් සංවර්ධනය කොට ජන ජීවිතය සුඛිත මුදිත කිරීමට රජය යුහුසුළුව කටයුතු කළ යුතුව පවතී . මධ්‍යම රජයේ වගකිවයුතු කැබිනට් ඇමති තනතුරු දරමින් එම පළාත්වලින් පත්වන දේශපාලන නායකයන් හට ප්‍රදේශය සංවර්ධනය උදෙසා මෙන්ම ජනතා අභිවෘද්ධිය උදෙසා සුවිසල් කාර්යභාරයක් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව පවතින බව අපි හොඳාකාරවම දනිමු . එහෙත් 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ඉඩම් හා පොලිස් බලතල ඇතුළු ඉහත කී බලතල පළාත් සභා වෙත ලබා දීම රජයේ පාලනය ව්‍යාකූල කිරීමට හේතු වන බව නොරහසකි.

එහෙයින් අප රටේ ස්වාධීපත්‍ය භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව මහා සංඝරත්නය ලෙස මෙයින් අවධාරණය කර සිටිම්හ . යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.

එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේයි.