තුන්වන කාර්තුවේදී සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක්

0
President Ranil Wickramasinghe - තුන්වන කාර්තුවේදී සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක්

රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්‍යෝත්සවය අමතමිනි.

අද සියලුදෙනා මුහුණ පා ඇති අසීරුතාව පිළිබඳ මනා අවබෝධයක් තමාට ඇති බව පැවසූ ජනාධිපතිවරයා 2024 වසර වන විට අපේක්ෂා කරන ආර්ථික ප්‍රගතියත් සමග වැටුප් වැඩි කිරීම ඇතුළුව සියලු ජනතාවට සහන ලබාදීමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර විජිණිපත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගන්වනු ලැබීය.

මෙම පුණ්‍යෝත්සවය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අනුරාධපුර මහා විහාරයේ කැණීම් කටයුතු සහ සංරක්ෂණය පිළිබඳ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

“අපි සියලුදෙනා අසීරු අවස්ථාවක ඉන්න බව මම පිළිගන්නවා. ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ හොද අස්වැන්නක් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. බඩු මිල, ප්‍රවාහන වියදම්, තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඇතිවී තිබෙන පීඩාව අපි සියලුදෙනා දරාගෙන ඉන්නවා. අපට මෙයින් ඈත් වෙන්න බැහැ.

අපේ අදායම් ස්ථාවර මට්ටමකට පැමිණෙනවා නම්, මීට වඩා දියුණු වෙනව නම් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස රජයේ සේවකයින් සියලුදෙනාට වැඩිපුර දීමනාවක් ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය දියුණුවීමත් සමග වැටුප් ඉහළ නැංවිය යුතුයි. අපි ලාභය ඉහළ නංවාගත යුතුයි.

මේ ඇත්ත කතා කිරීම දේශපාලනඥයෙක්ලෙස අසීරු කාර්යයක්. එහෙත් මම පැරදුනත්, දිනුවත් ඇත්ත තත්ත්වය සෑම විටම පෙන්වා දෙනවා. ජනතාවට මේ අසීරු තත්ත්වයෙන් ගොඩඒමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.”