මැතිවරණ කොමිසම ඝණ පූරණය නොමැතිව ගන්නා තීරණ වලංගු නෑ

0
Local Government Election - මැතිවරණ කොමිසම ඝණ පූරණය නොමැතිව ගන්නා තීරණ වලංගු නෑ

මැතිවරණ කොමිසම ඝණ පූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු වන්නේ නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙනවා යැයි මාධ්‍ය නිවේදන නිකුත් කළාට තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නැතැයි කී ප්‍රතිභා මහානාම හේවා මහතා එලෙස ගැසට් නිවේදනය නිකුත් කළා නම් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසමේ සාමාජිකයන් කී දෙනෙක් කැමැත්ත දුන්නා දැයි ජනතාවට නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව සඳහන් කළේය.

නීතිය වන්නේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නොව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම බවද මහානාම හේවා මහතා වැඩිදුරටත් කීය.

21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ලබන බදාදා (25) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වෙන පසුබිම යටතේ මැතිවරණ කොමිෂන් සභාව ද සිටිනුයේ අන්තරාභවයක් වැනි තත්ත්වයක බව කී ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා මෙවැනි තත්වයක් යටතේ අනිවාර්යයෙන්ම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිසමේ පස් දෙනාගේම නම් සදහන්ව තිබුණ අතර මැතිවරණයට දින නියම කිරීම සඳහා ද එවැනිම පියවරක් අනුගමනය කළ යුතුව ඇතැයි ප්‍රතිභා මහානාම හේවා මහතා කීය.

ඡන්ද දිනය තීරණය කිරීම වැනි වැදගත් වැඩකට මුළු කොමිසම ම අවශ්‍ය වෙන බව කී මහානාම හේවා මහතා මැතිවරණය පවත්වන දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර නැතැයි කීමෙන් වක්‍රව ප්‍රකාශ කෙරෙන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.