අනුමැතිය දුන්නොත් දින තුනක් ඇතුළත බිත්තර ආනයනය කළ හැකිය

0
Egg Import - අනුමැතිය දුන්නොත් දින තුනක් ඇතුළත බිත්තර ආනයනය කළ හැකිය

මෙරටට බිත්තර ආනයනය කිරීමට අදාළව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ නිර්දේශවලට අනුමැතිය හිමිවන්නේ නම් දින තුනක් ඇතුළත බිත්තර ආනයනයට සූදානම් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළා.

පවතින බිත්තර හිඟය සහ වැඩි මිලට බිත්තර අළෙවි කිරීම පාලනය කිරීම සඳහා බිත්තර ආනයනයට අදාළ කැබිනට් පත්‍රිකාවට මීට සති දෙකකට පෙර අනුමැතිය හිමිවුණා.

ඒ අනුව ටෙන්ඩර් පත් කැඳවීමේදී ඇණවුම්කරුවන් 20 දෙනෙකු බිත්තර ආනයනයට සුදුසුකම් සපුරා ඇති බවයි වෙළඳ අමාත්‍යංශය කියා සිටියේ.

බිත්තර ආනයනයේදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශවලට අනුගතව ආනයනය කළ යුතු බැවින් එහි නිර්දේශ එම දෙපාර්තමේන්තුටව යොමු කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ අදාළ නිර්දේශවලට අනුමැතිය හිමිවන්නේ නම් දින තුනක් හෝ හතරක් ඇතුළත බිත්තර ආනයනයට හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක කුරුළු උණ ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පැවතීම නිසා බිත්තර ආනයනය කිරීමට අනුමැතිය ලබාදිය නොහැකි බව පෙරේදා(15) දින සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර, වෙළඳුන් සහ පාරිභෝගිකයින් පවසන්නේ වෙළඳපොළේ බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීමට කඩිනමින් බිත්තර ආනයනය කළ යුතුව ඇති බවයි.