අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් මාස 2ක්

0
Ranil Wickramasinghe - අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් මාස 2ක්

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම වැඩසටන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිත බවය. ‍‍

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ දැනට පවතින ක්‍රමය භාවිතා කරමින් හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් අතර සහල් බෙදාදීමට නියමිත අතර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධීකරණය කරමින් ඔවුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කරනු ඇත.

වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6,200ක්, වී වියළීම සඳහා රුපියල් මිලියන 290ක්, කෙටුම් කුලිය සඳහා රුපියල් මිලියන 590ක්, ඇසුරුම් පිරිවැය සඳහා රුපියල් මිලියන 200ක්, වී මෝල් හිමියන් සඳහා අමතර ගෙවීම් ලෙස රුපියල් මිලියන 160ක්, සහල් ප්‍රවාහන පිරිවැය ලෙස රුපියල් මිලියන 600ක් ලෙස රුපියල් මිලියන 8,040ක් මේ සඳහා අස්තමේන්තුගත කර තිබේ.

කෙසේ වුවද, වෙළෙඳපළ වී මිලෙහි සිදුවන වෙනස්කම් මත වැඩසටහන සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වෙනස් වනු ඇති අතර, අවශ්‍යතාවක් පැනනැගුනහොත් මේ සඳහා රුපියල් මිලියන 10,000ක පමණ අය වැය ප්‍රතිපාදන භාවිත කරනු ඇත.