පළාත් පාලන ආයතන බහුතරයකට ශ්‍රී.ල.නි.පය වෙනම එයි

0
Sri Lanka Freedom Party - පළාත් පාලන ආයතන බහුතරයකට ශ්‍රී.ල.නි.පය වෙනම එයි

පළාත් පාලන ආයතන බහුතර ප්‍රමාණයක් සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස ‘අත’ ලකුණ යටතේ තරඟ කිරීමට එම පක්‍ෂය තීරණය කර ඇත.

දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් පසුගියදා පිහිටුවා ගත් නිදහස් ජනතා සන්ධානය යටතේ ‘හෙලිකොප්ටරය’ ලකුණින් තරඟ කිරීමට ද ශ්‍රී.ල.නි.පය තීරණය කළ බව පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා පැවසීය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම හැර සෙසු පළාත් පාලන ආයතන සඳහාත්, පුත්තලම සහ අම්පාර වැනි දිස්ත්‍රික්කවලත් හෙලිකොප්ටරය ලකුණ යටතේ සන්ධානයක් ලෙස තරඟ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දේශපාලන මණ්ඩලය පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී මෙම තීරණය ගත් බව ද ගුණසිංහ මහතා කීවේය.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස අත ලකුණ යටතේ තරඟ කිරීමට ඇප මුදල් තැන්පත් කිරීම ද අද (16) සිදුකෙරිණි.

ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (17) සිදුකෙරෙන බව ද ගුණසිංහ මහතා සඳහන් කළේය.

ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් 12ක් එක්ව පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා නිදහස් ජනතා සන්ධානය එළිදැක්වූයේ ඉකුත් 11 වැනිදාය.

එසේ වුවත් නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී මතු වූ ගැටලු හා පක්‍ෂයට වාසිදායී පළාත් පාලන ආයතනවලදී වෙනම තරඟ කළ යුතු බවට පාක්‍ෂිකයන් කරන ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙලෙස බහුතරයක් ආයතනවලට වෙනම තරඟ කිරීමට තීරණය කළ බව ද තිසර ගුණසිංහ මහතා පැවසීය.

නව සන්ධානයේ පක්‍ෂ නායකයන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම තීරණය එම පක්‍ෂ නායකයන්ට දැනුම්දීමට නියමිතව ඇත.