තරුණයින් දෙදෙනාගේ ඝාතනය දුටු පුද්ගලයෙක් පොලීසියට තොරතුරු දෙයි

0
Two Murder in Rambukkana - තරුණයින් දෙදෙනාගේ ඝාතනය දුටු පුද්ගලයෙක් පොලීසියට තොරතුරු දෙයි

මාවනැල්ල ප්‍රදේශයේ අතුරුදන්වූ බවට වාර්තාවී තිබූ තරුණයින් දෙදෙනා අතරින් අනෙක් තරුණයාගේ මළසිරුර ද ඊයේ (13) සොයාගෙන තිබුණි.

ඒ පෙරේදා (12) එක් මළසිරුරක් වළදමා තිබියදී සොයාගැනුණු, රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නිවස පසුපසම වළදමා තිබියදීය.

මාවනැල්ල කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 19 හා 25 යන දෙදින තුළ අතුරුදන්වී ඇති බවට මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

එලෙස අතුරුදන්වී තිබුණේ 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

මේ අතර කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පුද්ගලයෙකුගෙන් තොරතුරක් ලැබී ඇත්තේ රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හුරීමළුවේ ෆර්හාන් නමැත්තාගේ නිවස තුළ තරුණයින් දෙදෙනෙකු ඝාතනය කරන අයුරු තමා දුටු බවටය.

තරුණයන් දෙදෙනා එම නිවස පසුපස වළලන අයුරු දුටු බවත් ඔහු පවසා තිබේ.

පොලීසිය කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, ඔහුට ද එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පහරදී ඝාතනය කිරීමට උත්සාහ කළ ද තමන් ඉන් මිදී පළා ආ බවය.

තමන්ට පහරදෙන අතරතුර එම තරුණයින් දෙදෙනා එම නිවසේ කාමරයක සිරකොට අමානුෂික ලෙස තියුණු ආයුධවලින් පහරදුන් බවත් ඉන් ඇතිවූ තුවාලවලට ලුණු හා විෂබීජ නාශක දියර දමන අයුරු ද තමන් දුටු බවත් ඔහු පවසා ඇත.

නොවැම්බර් 25 වනදා අතුරුදන් වූ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් තරුණයාට දින තුනක් පමණ වධහිංසා පැමිණ වූ බවද ඔහු පැවසු බව පොලීසිය සඳහන් කළේය.

26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් නම් අනෙක් තරුණයා පළමුව මියගිය බවත් ඔහු නිවසේ පසුපස ස්ථානයක වළදැමුණු බවත් තොරතුරු දුන් පුද්ගලයා පවසා තිබේ.

පසුව මියගිය 28 හැවිරිදි තරුණයා ද එම ස්ථානයට යාබදව වළදැමුණු බව ඔහු පවසා ඇත.

මේ පිළිබඳ කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා අප්සරා අබේගුණසේකර මහත්මිය වැඩිදුර විමර්ශන සිදුකර වැදගත් තොරතුරු රැසක් හෙළිකරගැනීමට සමත්වූවාය.

පොලීසිය පැවසුවේ, තරුණයන් දෙදෙනා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූවන් බවත් පසුගිය නොවැම්බර් මස රටේ හෙරොයින් හිඟයක් මතුවීමත් සමග ඔවුන් අයිස් මිලදී ගැනීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇති බවත් හෙළිවූ බවය.

මොවුන් ද මින් පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කර ඇති බවට ද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

මියගිය දෙදෙනාගෙන් 28 හැවිරිදි තරුණයාගේ සහෝදරයා හුරීමළුවේ ෆර්හාන් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඊට මුදල් ලබානොදීම නිසා මෙම තරුණයා සහ ජාවාරම්කරු අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර එම නිසා ඔහු ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළිවූ බව පොලීසිය පැවසීය.

එමෙන්ම තරුණයින් දෙදෙනා තමා ගැන පොලීසියට ඔත්තු සපයන්නන් බවට සැක සිතා මෙම ජාවාරම්කරු විසින් අදාළ තරුණයින් දෙදෙනාව ඝාතනය කර ඇති බවට පොලීසියට හෙළි වී ඇත.

පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් ද සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ පසුපස කොටස ඊයේ පරීක්ෂා කර තිබේ.

ඒ අනුව, නිවසේ පසුපස කොටසේ කොන්ක්‍රීට් තට්ටුවක් දමා කුකුළු කොටුවක් සැකසීමට සකස් කළ ස්ථානයක පොලීසිය විසින් පෙරේදා කැණිම් සිදු කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස පෙරේදා පස්වරුවේ මළසිරුරක් සොයාගත් අතර ඒ, 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් බවට පොලීසිය සැක පළකරයි.

ඊයේත් එම ස්ථානයේ කැණීම් සිදුකළ විමර්ශන නිලධාරීන් ට එහි වූ ඳෝනාවක් වැනි කොටසක් හමුවී ඇති අතර ඒ තුළින් අනෙක් මළසිරුර ද සොයාගැනීමට හැකිවී තිබුණි.

එය මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් 28 හැවිරිදි තරුණයාගේ සිරුර යැයි සැකකරන බව පොලීසිය පවසයි.

මියගිය තරුණයින්ගේ සිරුරු එතීම සඳහා භාවිත කළ බව පැවසෙන ඉටි කොළ ද සැකකරුගේ නිවසේ තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් පොලීසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ හුරීමළුවේ ෆර්හාන් නමැත්තා ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙක් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය.