ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලැබීමේ බලාපොරොත්තු ඈතට යයි

0
IMF Financial Assistance - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලැබීමේ බලාපොරොත්තු ඈතට යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් මිලියන 2900ක මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාව වෙත ලැබීම තවදුරටත් ප්‍රමාද වෙනු ඇතැයි ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ආයතනය පවසයි.

මේ අනුව මේ වසරේ පළමු කාර්තුවේදී අනුමැතිය හිමිවේයැයි අපේක්ෂා කළ එම පහසුකමට අනුමැතිය ලබාදීම මේ වසරේ දෙවැනි කාර්තුව දක්වා ඉදිරියට යනු ඇතැයි එම ආයතනය තවදුරටත් පවසයි.

ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් මෙම පුරෝකථනය කර තිබේ. එසේම මෙය වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා තවදුරටත් ප්‍රමාද කළ හැකි බවත් ආයතනය පෙන්වා දෙයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවකට එළඹීමට මේ වසර අවසානය දක්වා කල් ගත වෙනු ඇති බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක ඉලක්ක සාක්ෂාත් කර ගැනීම අභියෝයක් බවට පත්විය හැකි බවත් එම ආයතනය පවසයි.

“ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත වීම නිසා ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන සඳහා IMF මණ්ඩල අනුමැතිය ප්‍රමාද වී ඇත. ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේ ප්‍රමාදයන් සැලකිල්ලට ගෙන Q2-2023 (පෙර Q1 ට සාපේක්ෂව) මණ්ඩල අනුමැතිය සිදුවනු ඇතැයි අපි දැන් බලාපොරොත්තු වෙමු.

මෙය වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා තවදුරටත් ප්‍රමාද කළ හැකි අතර, එය දෙවැනි අර්ධය දක්වා (2023) පසුසට ගමන් ඇතැයි අපි අපේක්ෂා කරමු. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවකට එළඹෙන්නේ 2023 අවසන් වන විට පමණි. වාණිජ ණය කාලානුරූපව ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක ඉලක්ක සාක්ෂාත් කර ගැනීම අභියෝග මතු කළ හැකි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට බාධාවක් ඇතිවෙනු ඇත.” යැයි ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ආයතනය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.