බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි

0
Egg Import - බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි

බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සඳුදා දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් බිත්තර ආනයනය කිරීමේ වගකීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පවරා දී ඇති බ‍ව එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේය.

ඒ අනුව, බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරා ගැනීමේ කටයුතු ලබන සතිය තුළ සිදුකර අවසන් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළට අවශ්‍ය වන බිත්තර ප්‍රමාණය රජය විසින් තීරණය කර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට නියමිතය.

ඊට අදාළව මෙරටට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව ලබන සතිය තුළ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේය.

මෙලෙස ආනයනය කිරීමෙන් අනතුරුව රුපියල් 45 කටත් වඩා අඩුවෙන් පාරිභෝගිකයින්ට සහනදායී මිලකට බිත්තර අලෙවි කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.