එක මතයකට එන්න ජනපති මැතිවරණ කොමිසමට කියයි

0
President Ranil Wickramasinghe - එක මතයකට එන්න ජනපති මැතිවරණ කොමිසමට කියයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාට ඊයේ (5) දැනුම් දුන්නේය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනා ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,නීතිපති සංජය රාජරත්නම්,අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරිල් පුල්ලේ,මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයෝ හතර දෙනෙක් ද සහභාගී වූහ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත හතරක් දැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ කොමිසමේ නිදහස කොමිසමට බාර දී ඇති අතර බහුතර ඒකමතික මතයකට පැමිණ තීරණයක් ගන්නා ලෙසයි.

මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව කී ජනාධිපතිවරයා කොමිසමට අවශ්‍ය නම් නීතිපතිගෙන් ලිඛිත උපදෙස් ලබා ගන්නා ලෙසද දැනුම් දී දුන්නේය .නීතිපති දෙපාර්තමේන්තුව අදාල නීති සහයෝගය ලබාදෙනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එහිදී අදහස් දක්වමින් නීතිපතිවරයා පැවසූයේ මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබද යම් නීති ගැටලුවක් ඇතොත් සෘජුවම තමාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එක් මතයක් නොදැරීම නිසා අදාළ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.