තේ හා එළවළු සඳහා විශේෂිත මිශ්‍ර පොහොරක්

0
Fertilizer for Vegetable and Tea - තේ හා එළවළු සඳහා විශේෂිත මිශ්‍ර පොහොරක්

රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන ගොවිතැන් කටයුතු සඳහා පොහොර ලබා දීමේ වැඩ සටහන යටතේ කොමර්ෂල් පොහොර සමාගම විසින් මෙරට තේ හා එළවළු සඳහා විශේෂිත මිශ්‍ර පොහොරක් හඳුන්වා දීම ඊයේ දින (03) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

මෙතෙක් වී හා බඩඉරිඟු වගාවන් සඳහා යුරියා හා MOP පොහොර ලබා දුන්නද තේ, එළවළු, හා අල වගාව සඳහා පොහොර ලබා නොදීම නිසා ගොවීහු රජයට විවිධ චෝදනා ඉදිරිපත් කළේය.

එම නිසා තේ හා එළවළු සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම කොමර්ෂල් පොහොර සමාගමටත්, අර්තාපල් සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම ලංකා පොහොර සමාගමටත් බාර දීමට අමාත්‍යවරයා පියවර ගත්තේය. ඒ අනුව කොමර්ෂල් පොහොර සමාගම විසින් සතියක් වැනි කෙටි කාලයක් තුළ පර්යේෂණ සිදු කර එම කාර්ය මණ්ඩලය විසින් මෙම විශේෂිත මිශ්‍ර පොහොර නිෂ්පාදනය කළ බව එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයූතු සිදු වූ අතර එම අවස්ථාවට කොමර්ෂල්   පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති තුෂාර ප්‍රියදර්ශන මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම  විශේෂ තේ හා එළවළු පොහොර  කිලෝ ග්‍රෑම් 50 මිටියක් වෙළෙඳ  පොලේ මිලට වඩා රුපියල් 3000ක් අඩුවෙන් ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කර තිබේ.

කොමර්ෂල් පොහොර සමාගම විසින් මේ වනවිට මෙම පොහොර මෙට්‍රික්  ටොන් 800ක් නිෂ්පාදනය කර ඇති අතර මෙට්‍රික් ටොන් 6500ක් නිෂ්පාදනය කිරීම ඉළක්ක කර තිබේ. ඊයේ දිනය තුළ වෙළෙදපොලට තේ සඳහා යොදන T-200 වර්ගයෙන් මෙට්‍රික් ටොන්  100ක්, T-750 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 200ක්, U-709 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 200ක්, හා U- 834 වර්ගයෙන් මෙට්‍රික් ටොන් 200ක් වශයෙන් තේ හා එළවළු සඳහා මෙම මිශ්‍ර පොහොර නිකුත් කළේය.

මෙම අවස්ථාවට එක් වූ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති තුෂාර ප්‍රියදර්ශන මහතා මෙරට කුඩා තේවතු හිමියන් ලක්ෂ 05ක් සිටින බවත්, එම පිරිසට අඩු මුදලක් යටතේ පොහොර ලබා දීමට පියවර ගැනීම සම්බන්ධයෙන් කොමර්ෂල් පොහොර සමාගමට හා කෘෂිකර්ම අමාත්‍යාංශයට කෘතතාවය පළ කළේය.

මෙම විශේෂිත මිශ්‍ර පොහොර සංකේතාත්මකව කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට බාර දීම අද දින (03)  අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා  රසායනික පොහොර තහනම් කිරීම නිසා මෙරට ගොවිතැන කඩා වැටුනු බවත්, එමෙන්ම රටේ ආහාර නිෂ්පාදනය අඩාල වූ බවත් සදහන් කළේය.

නමුත් පසුගිය යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ලබා දීමට රජය පියවර ගැනීම නිසා අරගලවල හා පාරේ විරෝධතාවලට එක්ව සිටි ගොවී ජනතාව නැවතත් කුඹුරුවලට හා ගොවිබිම්වලට යැවීමට හැකි වූ බවත් සඳහන් කළේය. එමනිසා ගොවි ජනතාව අකර්මන්‍ය කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත්, නමුත් ගොවි ජනතාව මෙවරත් තම ගොවිබිම්වල වගා කිරීමට කටයුතු කිරීම සුබවාදී පියවරක් බව ද සඳහන් කළේය.